ඡප්පාණක සූත්‍රය


asammathaya

“මහණෙනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරමි”

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සත්තු හය දෙනෙක් ගැන. නරියා, බල්ලා, කිඹුලා, කපුටා, නයා, වඳුරා වශයෙන්. ලණු කෑලි හයක් අරගෙන ඒ සත්තු හයදෙනාගේ නැටි හයේ බඳිනවා. ඒ කියන්නේ නරියෙක්ගේ වලිගයේ ලණු කෑල්ලක් බඳිනවා. බල්ලෙක්ගේ වලිගයෙත් ලණු කෑල්ලක් පටලවනවා. කිඹුලෙක්ගේ නැට්ටෙත් ලණු කෑල්ලක් පටලවනවා. කපුටෙක්ගේ නැට්ටෙත් ලණුවක් පටලවනවා. නයාගේ වලිගයෙත් ලණුවක් පටලවනවා. වඳුරාගේ වලිගයෙත් ලණුවක් පටලවනවා. මේ සත්තු හයදෙනාගේ නැටි හයේ ලණු කෑලි හයක් බැඳලා ලණු කෑලි හයම එකට එකතු කරලා ගැටයක් ගහලා අතහරිනවා.

නානා ගති, නානා අදහස් ඇති සත්තු හය දෙනෙක් නිසා මේ හය දෙනා හය පැත්තට අදිනවා නේ. අදින කොට ලොකු කැලඹීමක් හටගන්නවා. අපි කියමු නරියා අදිනවා සොහොනට යන්න. බල්ලා අදිනවා ගමට යන්න. කිඹුලා අදිනවා වතුරට යන්න. කපුටා හදනවා අහසට පියාඹන්න. නයා හදනවා තුඹසට යන්න. වඳුරා හදනවා ගහට යන්න. මේ වාගේ එහාට-මෙහාට අදිනවා. ඔහොම අදිමින් ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනික් ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තටම යනවා. ඇයි? දැන් ඔක්කෝගෙම නැටි ටික බැඳලා ඉතුරු කෙළවරවල් ටික එකට ගැටගහලා නේ තියෙන්නේ.

ඒ වාගේ, බුදු රජාණන් වහන්සේ මේක උපමා කරනවා සතිපට්ඨානය නොවඩන ලෝකයාගේ මනසට. නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනා වගේ තමයි ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. එතකොට දැන් ඒවා ඔක්කොම නැටි ටික එකට ගැටගහලා වගේ, අපි මේ ආයතන ටික එකට ගැටගහලා තියෙන්නේ. පේන දේ අහන්න පුළුවන්; ඇහෙන දේ පේනවා; පේන දේ ගඳ-සුවඳ බලන්න පුළුවන්; ගඳ-සුවඳ දැනෙන එකයි මේ පේන්නේ කියලා දැන් අපි මේ ආයතන ටික ඔක්කෝම එකට ගැටගහලායි තියෙන්නේ. දැන් ඇහැ අදිනවා රූප බලන්න: කන අදිනවා සද්ද අහන්න; නාසය අදිනවා ගඳ-සුවඳ බලන්න; දැන් එහාට මෙහාට ලොකු කැලඹීමක්. මේ විදියට හිත-හිතා ඉන්නවා කියන්නේ ඔය සත්තු ටිකේ ඇදීමටයි. ඉතින් එකෙක් බලවත් වුණහම ඔක්කෝම ටික ඇදගෙන යනවා. ලස්සන රූප බලනවා කියන්නේ ඔන්න දැන් එක සතෙක් බලවත්. අනික් එවුන් ඔක්කෝම මතක නැහැ; ඔක්කෝම ටික ඇදගෙන එක සතෙක් යනවා වගේ. දැන් ඉතින් රූප බලනවා. අනිත් ඔක්කොම ටික ඒ අනුව පවතිනවා.

ඔන්න එතැනින් නැගිටින කොටම දැන් ලස්සන සින්දුවක් යනවා කියන්නකෝ. දැන් ඒක අහනවා. ඒ කියන්නේ දැන් ඔක්කෝම සත්තු ටික ඇදගෙන අනික් සතා යනවා. ඔන්න ඔය වගේ පෙන්නුවා ලෝකයාගේ මනස.

දෙවනුවට ආයෙත් උපමාවක් පෙන්නුවා. ඒ වගේ නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනෙක් ඉන්නවා. මේ සත්තු හයදෙනාව අර වගේ අරගෙන නැටි හයේ ලණු කෑලි හයක් බඳිනවා. බැඳලා ඉතුරු කෙළවරවල් ටික ඔක්කෝම අරගෙන කණුවක හරි, ටැඹක හරි බඳිනවා. දැන් බැන්දහම වෙනදා පුරුද්දට අර සත්තු එහාට-මෙහාට අදිනවා. හොඳට බලන්න. කණුවේ බැන්දා කියලා, බැඳපු ගමන්ම හීලෑ වෙනව ද? නෑ. එහාට අදිනවා. මෙහාට අදිනවා. හැබැයි වෙනදා වගේ ඇදගෙන යන්න බැහැ. ඔහොම ඇදල, ඇදලා ඒ අයට ම එපා වෙලා, කණුව මුල ම වැතිරිලා ඉන්න දවසක් එනවා.

මේ ටික දේශනා කරලා, බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. ‘මහණෙනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි’ කියලා.

“ඡප්පාණක සූත්‍රය”

(ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ දේශනාවක් ඇසුරෙනි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )