මහ වන මැද සැගව සිටි නීලගිරි මහා සෑ රදුන් ………..



නීලගිරි මහා සෑය යන නාමය ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබුණේ ඉතා මෑතදීය. පුරාවිද්‍යා කැණීම් එහි අරඹා තිබීම ඊට හේතුවයි. සියඹලාණ්‌ඩුවේ සිට පොතුවිල් දක්‌වා ඇති A-4 මාර්ගයට අයත් කොටසෙහි මැද ඇති ලාහුගලින් දකුණට හැරී කි.මී. 4.2 ක්‌ ගමන් කර හැඩ ඔයෙන් එගොඩ වී තවත් කි.මී. 1.8 ක්‌ වනාන්තරය මැදින් ඉදිරියට ගමන් කළ විට නීලගිරි මහා ථූපය හමුවේ. අඩි 1200 ක වට ප්‍රමාණයක්‌ ඊට ඇත.


මහ වනාන්තරය මැද පැවති මෙහි ළඟාවීමට ලාහුගල වැසියන් අතුරින් දැන සිටියේ වැඩිමහල් කීප දෙනකු පමණි. මාර්ගයක්‌ ඉදිනොකර පුරා විද්‍යා කැනීම් සිදු නොකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භූමිය පවරා ගැනීමක්‌ද සිදු නොවී සැලසුම් සම්පාදනය කර ඇස්‌තමේන්තු සැකසීමකින්ද තොරව 1972 දී චෛත්‍ය බඳ අඩි 20ක්‌ උසට හා අඩි 100 ක්‌ දිගට නැවතත් අලුතින් ගඩොලින් බැඳීම සිදුවී තිබිණි. මේ ගැන විස්‌තර කිසිවක්‌ දැන ගැනීමට නැත.


නැවත 2004 වර්ෂයේදී නැගෙනහිර බෞද්ධ පුනරාගමනය නමැති සංවිධානයේ කරුණාරත්න නමැති මහතෙකු හා පිරිසක්‌ ලාහුගල මඟුල් මහ විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන්ද සමග කටුපඳුරු හා එරමිනියා ගාල් කැතිවලින් කපමින් අඩි පාරක්‌ සාදාගෙන චෛත්‍යය වෙත ළඟා වුහ. එය හැදෑරීමේ හා ගවේෂණයේ චාරිකාවක්‌ විය. ඉන්පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ආධාරය ඇතිව කිලෝ මීටර් 7-8 ඈතට සොයා බැලීම් කළ හැකි විණි. එහිදී පෙනී ගියේ අනුරාධපුරය බඳු විහාරාරාම හා මාලිගාවන් පිහිටි නගරයක්‌ මෙහි පැවතෙන්නට ඇති බවය.
නීලගිරි සෑයේ ඉතිහාසය ක්‍රිස්තූ පූර්ව යුගය දක්වා විහිදෙන අතර ඒ වටා ඇති විහාර සංකීරණ නටබුන්වලින් කියාපාන්නේ ඈත අතීතයේ මෙහි වැඩසිටි මහරහතන් වහන්සේලා ප්‍රමූඛ මහා සංඝරත්නයට සෙවන දුන් අතී පූජනීය ස්තානයක් බවයි.


චෛත්‍ය ගවේෂණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් මෙතෙක් නොකියැවූ සෙල් ලිපි දෙකක් සොයාගෙන ඇත. අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී ඇති මේ සෙල්ලිපියකට අනුව ඉතිහාසයේ මෙතෙක් සැඟව සිටි මහාරාජිනි ‘චූල සීවලී දේවි’ නම් රැජනක් ගැන ද වර්තමානෙහි නීල ගිරිය ලෙස හඳුන්වන චෛත්‍ය එදා උත්තර සීවලී පබ්බත ලෙස හැඳින්වූ බවට ද අනාවරණය කොට ගෙන ඇත.
ත්‍රී සිංහලය සංකල්පය බිහිවීමට පෙර මහවැලි ගඟින් උතුර රජ රට ලෙස ද දකුණ රුහුණු (රෝහණය) ලෙස ද කඳුකරය මලය රට ලෙස ද හැඳින්වීය. පැරණි රුහුණු රටේ මධ්‍යගත ප්‍රදේශය වන වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටා ඇති නීලගිරි හෙල හා නීලගිරි චෛත්‍ය මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නැෙඟනහිර ප්‍රදේශයේ පිහිටි විශාල ම චෛත්‍ය ලෙස ය.


මේ ස්තූපයේ පරිධියේ සිට උතුරට මීටර් 355 ක් ද, දකුණට මීටර් 268 ක් ද, නැඟෙනහිරට මීටර් 348 ක් ද, බටහිරට මීටර් 198 ක් ද ලෙස හෙක්ටයාර් 36 (අක්කර 89) පුරා ඇති බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් ගවේෂණයේදී සොයා ගෙන ඇත.


මේ විහාර සංකීර්ණය උපෝසතාගාරයක් භික්ෂු ආවාස, පිළිම ගෙවල් ආදියෙන් සමන්විත අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව ද මහාචාර්ය සෝමදේව පවසයි. මේ විහාර සංකීර්ණයට උතුරින් ස්වභාවික ජල පහරක් ද, දකුණින් ස්වභාවික ගල් තලයක් ද පවතී. මේ ගල් තලාවේ ගල් විහාරයේ ඉදිකිරීම් සඳහා ඉතා සරල තාක්ෂණය භාවිතා කොට ගෙන වෙන් කරගෙන ඇති අයුරු දැකගත හැකි ය.


ස්තූපය පිහිටි බිමෙන් සිරිපතුල් ගල් විශාල ප්‍රමණය ක් හමුවී ඇත.
ලාහුගල ඈත රුහුණේ මාගම් රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි ඉපැරණි නගරයක් වුවත් එය අද වනගත ය. සතා සීපාවා හා ස්වභාව ධර්මය විසින් සුරැකි මේ ඓතිහාසික පුද බිම හා නගරය අනාගතයෙත් ස්වභාව ධර්මයේ රැකවරණය මැද සුරක්ෂිත කරගත යුතු බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එසේ නොවුණ හොත් රුවන්වැලි සෑය ථූපාරාමය අභය ගිරිය වන් නවීන ආරාමයක් බවට මේ නොයිඳුල් උරුමය පත්වන බව ප්‍රකාශ කරයි.


නීලගිරි සෑය සම්බන්ධයෙන් ගත් කල, ‘කොට්ට පැදුරු ගල’ නමින් හඳුන් වන ගල් තලාව සුවිශේෂ ය. නීලගිරි සෑයේ ඉතිහාසය ගැන සඳහන් වන, දැනට හමුවී ඇති එකම සෙල් ලිපිය එහි පිහිටා තිබිම, ඊට හේතුවයි.


පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, නීලගිරි සෑය දාගැබ කවදා ඉදි කෙරුණු එකක් ද?, එය කරවූ රජතුමා කවුරුන් ද? ආදී තොරතුරු තවම හෙළිකර ගෙන නැත. එසේ වුවත්, සෑයට මීටර් 200 ක් පමණ ඈතින් කොට්ට පැදුරු ග‍ලේ පිහිටි, බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල් ලිපියක් ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ගෙන එයි. භාතිකාභය තිස්ස (ක්‍රි. පූ. 22 – ක්‍රි. ව. 07) රජුගේ බිසව වූ ‘චූල ශිව දේවිය’, එකල ‘උත්තර සීවලී පබ්බත විහාරයට’ කළ පූජාවක් ගැන ද, අවට ඇති වැව්වලින් එන බදු ආදායම විහාරයට පිදූ බව ද, එහි සඳහන් වේ. ‘මේකෙ තේරුම, භාතිකාභය තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දිත් නීලගිරි සෑය පැවතුණාය කියන එකයි’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, එකල නීලගිරි සෑයෙහි නාමය, ‘උත්තර සීවලී පබ්බත විහාරය’ යි. ඉතිහාසයේ කියැවෙන හැටියට, භාතිකාභය තිස්ස යනු බොහෝ විදේශ සම්බන්ධකම් තිබුණු රජ කෙනෙකි. ඒ බව සිහිපත් කරන්නට මෙන් ‘කානේලියන් පබළු’ ආදී විදේශීය ආභරණ කොටස් ද නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීමෙන් හමුවී තිබේ. නීලගිරි සෑය, ඇත්තටම මහානාග රජුගේ නිමැවු ද?, නැතිනම්, භාතිකාභය තිස්ස රජුගේ නිමැවුමක් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.


වල්බිහිව ගිය වන උයනක් බඳු පරිසරයක් මැද, තැනින් තැන ගරා වැටුණු දැවැන්ත දාගැබක පෞරාණික රූපකායක් ඉදිරියෙහි නැගී සිටිනු පෙනුණි. සෑයෙහි ඉහළ කොටසේ රූස්ස ගස් වැවී තිබුණේ ය. ඈත සිට බලන විට, නීලගිරිය කොතරම් විශාල දාගැබක් ද යන්න පැහැදිලිව පෙනුණි. නීලගිරි සෑයෙහි දර්ශනය ඕනෑම කෙනෙකුට එක්වරම සිහිපත් කරන්නේ අනුරාධපුරය යි. එහි ඇති ජේතවනය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා දාගැබ්වල නිරාමිස, එහෙත් දැවැන්ත රූපකාය යි.
………………………………………………………………………………………………………….


වර්ථමාන නීලගිරි මහා ථූපය


ගෞතම බුදුරජුන් ජීවමානව වැඩ සිටි සමයේ ද බුදුන් උදෙසා ලංකාවේ දාගැබ් ඉදිවී තිබේ. ත්‍රිකුණාමලයේ හිරිගඩු සෑය හා මහියංගණ මහා සෑය ඒ අතර වේ.


ඉපැරැණි රුහුණු මාගම් රාජධානි සමයේ ලක්වැසියන්ගේ ගෞරව බහුමානයට ලක්වූ නීලගිරි චෛත්‍ය කැණීමේදී ධාතූන් වහන්සේ අතිවිශාල ප්‍රමාණයක් හමුවී ඇත. ඒ අතර කරඬු දෙකක සුවිශේෂී ලෙස තැන්පත් කරන ලද ධාතූන් වහන්සේ කිහිප නමක් හමු වී තිබේ. එම ධාතූන් වහන්සේ ශ්‍රී ගෞතම සර්වඥයන් වහන්සේගේ යැයි අනුමාන කරනු ලබයි. පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව එම ධාතු රටපුරා ප්‍රදර්ශනය කරනු ලැබීය.


මෙසේ හමුවූ ධාතූන් වහන්සේ සත්‍ය වශයෙන්ම ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේ යැයි ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය. එහෙත් එම ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ සුවිශේෂී ස්වභාවය අනුව එම ධාතූන් සර්වඥයන් වහන්සේගේ යැයි සාධාරණ සැකයක් මතුවී තිබෙන බව හෙතෙම ප්‍රකාශ කරයි. එහෙත් නීලගිරි චෛත්‍ය කැණීමේදී හමුවූ අනෙක් ධාතූන් වහන්සේ පිළිබඳ එවන් අදහසක් ඉදිරිපත් කළ නොහැකි බව ද දිසානායක මහතා පවසයි.


සර්වඥයන් වහන්සේගේ යැයි සැලැකෙන ධාතූන් වහන්සේ ගල් කරඬුවක් තුළ බහාලන ලද මැටි කරඬුවක් තුළ වූ රන් කරඬුවක තැන්පත් කර තිබිණි. ධාතූන් වහන්සේ රන් කරඬුව තුළ වූ සුරයක් වැනි කුඩා මංජුසාවක වැඩ සිටියහ.


නීලගිරියෙන් හමු වූ සුවිශේෂී කරඬු දෙකින් එකක් පතුලේ නෙළුම් මල කැටයම් කර තිබු අතර අනෙක් ධාතූන් වහන්සේ තැන්පත් කර තිබු කුඩා මංජුසාවේ ශ්‍රීපාදය සටහන් කොට තිබිණ.
මේ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ආකාරය දෙස බලද්දී එවන් ධාතු තැන්පත් කිරීමක් මෙතෙක් හමුවී නැත. නෙළුම් මල සහ ශ්‍රී පතුල බුදුන් වහන්සේ බව හැඟවීමට භාවිත කරනු ලබන සංකේතයන්ය. ඉපැරැණි කලා හෝ පුරාණ සම්ප්‍රදාය අනුව බුදුන් හැර වෙනත් කිසිවකු උදෙසා ශ්‍රී පතුල හා නෙළුම් මල භාවිත කිරීමක් සිදුව නැත. එහෙයින් මේ ධාතූන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ ය යන්න පිළිබඳ මතයක් ඉදිරිපත් වේ. එහෙත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේදී එවන් නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීම සිදු නොවේ.


ජනප්‍රවාදයට අනුව ක්‍රි. පූර්ව 240 දී රජකළ සූරතිස්ස රජු විසින් නීලගිරි සෑය ඉදිකොට ඇතැයි සැලැකේ. නීලගිරි සෑයේ ගඩොල ශාස්ත්‍රවෙල වෙහෙරෙහි ගඩොල හා සමාන වේ. ලාහුගල වනෝද්‍යානයේ හැඩඔයෙන් එපිට ඇති නීලගිරි චෛත්‍ය 1927 – 28 වර්ෂයේදී හෝර්කාට් මහතා විසින් ප්‍රතිසංස්කරණය කිරීමට පෙර අතීත රජ දරුවන් අතින් තෙවරක් ප්‍රතිසංස්කරණය වී තිබේ. ගරාවැටුණු කොත සහිත මේ චෛත්‍ය කැණීම් කටයුතු 2011 වසරේදී ආරම්භ විය. සර්වඥයන් වහඅන්සේගේ ධාතූන් යැයි සැලැකෙන කරඬු හමුවී ඇත්තේ චෛත්‍යයේ ගරාවැටුණු කොටසේ තිබීය. එම කරඬු හමු වූ සන්ධර්භය චෛත්‍යයේ පැරැණිම අවධිය සේ සැලැකේ. අතීතයේ ලේඛන සම්ප්‍රදාය බහුල නොවූයෙන් මෙම කරඬු තුළ හෝ ආශ්‍රයේ මෙතෙක් අක්ෂර සටහන් හමුවී නොමැත. එහෙත් ‘පහණ’ යන්න සටහන් සෙල්ලිපියක් පමණක් හමුවූ බව සෙනරත් දිසානායක මහතා පවසයි.


ක්‍රි. පූ. 2 වැනි සියවසේ දී කාවන්තිස්ස රාජධානී සමයේ විශාල ජනාවාසයක් වූ නීලගිරිය අවට ආරාම සංකීර්ණ රැසක් පිහිටා තිබේ. රජගල ශාස්ත්‍රවෙල ඒ අතර ප්‍රමුඛය. නීලගිරි වනයේ සැඟව ගිය භූමියේ නටබුන්ව පවත්නා වැව් පද්ධතිය එම ජනාවාසයේ විසූ ජනයාගේ ජල පහසුව සපයන්නට ඇත. නීලගිරි හෙලෙහි ලෙන් පද්ධතිය බ්‍රාහ්මිය අක්ෂර සහිත ලිපිවලින් ද ඓතිහාසික මානවයාගේ සිතුවම්වලින් ද සමන්විත වේ.


නීලගිරි ස්ථූපයට සතර දිසාවෙන් ම ආරාම සංකීර්ණයේ පිටත ප්‍රාකාරය ලෙස සැලැකෙන සාධක හමුවී ඇත. අතීතයේ ‘මහා විහාරය’ ලෙස නීලගිරිය හඳුන්වා ඇති බව ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.


භාතිකාභය තිස්ස රජ සමයට අයත් සෙල්ලිපියක් නීලගිරි චෛත්‍ය අවට තිබී හමු වී ඇත. උත්තර සීවලී පබ්බත විහාරයට චුල සීවලී දේවිය විසින් කරන ලද ප්‍රදානයක් පිළිබඳ තොරතුරු එහි සටහන් වේ. උසින් අඩි 72 ක් පමණ යැයි අනුමාන කෙරෙන අඩි 628 ක් පමණ වූ වට ප්‍රමාණයකින් යුත් නීලගිරි චෛත්‍ය සංරක්ෂණ කටයුතු නුදුරේදී ඇරැඹීමට නියමිතය. සංරක්ෂණයෙන් පසු එහි වූ ධාතූන් වහන්සේ එහිම තැන්පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
නීලගිරි චෛත්‍යයෙන් හමුවූ ද්‍රව්‍ය මේ වන විට විශ්ලේෂණය කරමින් සිටියත් චෛත්‍යයේ කාල නිර්ණය කිරීමක් මෙතෙක් සිදුවී නොමැත.


නීලගිරිය ආසන්නයේ රජගල විහාර සංකීර්ණයේ මිහිඳු හිමියන්ගේ ධාතුන් තැන්පත් කළ බවට ද සෙල්ලිපියක් හමු වී ඇත. එහෙත් නීලගිරියෙන් එවන් සටහනක් හමු නොවීම හා කාල නිර්ණය මඟින් විද්‍යාත්මක තහවුරු කිරීමක් නොකළ බැවින් සුවිශේෂි කරඬු තුළ බහාලන ලද ධාතුන් වහන්සේ සර්වඥයන් වහන්සේගේම යැයි ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැලි වේ.
නීලගිරි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ලාහුගල පුරාවිද්‍යා රක්ෂිතයේදී ශ්‍රී ගෞතම සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේ සිත් සේ වන්දනා කරගැනීමට ඔබට හැකි වනු ඇත.


උපුටා ගැනීම රාජධානි පිටුවෙන්

One thought on “මහ වන මැද සැගව සිටි නීලගිරි මහා සෑ රදුන් ………..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )