​වඳින්ටා වන්දින්ටා රම්‍ය අටමස්ථානේ


උදේ පාන්දර පහමාර වෙද්දි අපි අනුරාධපුරේ. කිරි ආහාර පූජාව හය හමාරට.
” ජය සිරි මා බෝධිය ලඟම පාර්ක් එකේ වාහනේ දාමු. එතකොට ලේසියි ” අජිත් අයිය කිවුව.
පැය දෙකහමාරක් විතර වාහනේ ඉඳගෙනම ආව හන්ද කට්ටිය වාහනෙන් බැස්සෙ අත පයේ හිරි ඇරගන්ටත් එක්ක. පොඩ්ඩට අලුත් ඇඳුමක් හෙම අන්දවගෙන, පැනල් රෙද්දෙන් දරුවගෙ ඔලුවත් වහගෙන මමයි බිරිඳයි වාහනෙන් බැස්සෙ අන්තිමටම.
” ඔය නෝනල මහත්තයල වාහනේ පාර්ක් එක ඇතුලටම දානකොටම අපියි ඔයාලට කතා කලේ, එන්න එන්න මල් ගන්න, කිරි ආහාර අරන් යන්න, ඖෂධ පූජාවට ඖෂධ ගන්න, වෙන තැනකට යන්න එපා, මෙතනට එන්න, අපිනෙ වාහනෙන් බහිනව දැක්ක ගමන් මුලින්ම කතා කලේ ”
පාර්ක් එක කෙලවරේ මල් කඩේකින් අපිව ආදරෙන් පිලි ගත්ත. පේලියට තියෙන මල් කඩ වල පිරිස පාර්ක් එක ඇතුලට වාහනයක් එද්දිම ඒක තමන්ට අයිති කරං ඉවරයි. ගෙදරින් අරන් ආපු මල් ටික තියන්න වට්ටියකුයි, ඖෂද පූජාවට ඖෂධ ඩිංගයි, සුදු නෙලුම් මල් දහයයි , අටසිය පණහක් වගේ සුළු මුදලකට ගන්න පුළුවන්, වට්ටිය ආපහු දීමේ පොරොන්දුව පිට. කොහොමත් ඉතින් අර ඖෂධ ටික එහෙමත් අනිත් පැත්තෙන් කඩේටම ආයෙ එනවනෙ.
” අම්මෙ අපි ගෙනාපු මල් කවරෙ ආපහු ඉල්ල ගන්න”
හීං සීරුවෙ මල් කඩේ මුදලාලි තැන අපි ගෙනාව මල් කවරෙ බිත්තියෙ එල්ල ගන්නකොට මම අම්මට මතක් කලා.
පූජාවට ලෑස්ති වෙලා, කට්ටියත් එක්ක උඩ මළුවට යද්දි උඩමළුවෙ එක තැනක එක පොදියට සෙනඟ පොර කනව. මොකද කින්ද මන්ද කියල කවුරුවත් දන්නෙ නෑ. දරුවත් එක්ක තෙරපෙන්න බැරි හන්ද අනිත් අයට පෝලිමේ එන්න ඇරල මම එලියෙන් ඇවිත් දොරකඩ උන්න. ටික වෙලාවකින් හතිමුණින් දාගෙන අපේ පිරිස එනව.
” මොකද එතන තෙරපෙන්නෙ ? ”  මම ඇහුව.

” මල් පූජ කරනවනෙ ” ..

” හ්ම්ම්, එහෙමද , දැන් කොහෙටද මේ පූජාව දෙන්නෙ ? ” මම ඇහුව.

” අර එහා පැත්තෙ ” අම්ම කිවුව.

” පූජා වට්ටියට පඬුරු තිබ්බද ? ” අම්ම අහනව.

” නෑ ”

” එහෙනම් මේක තියන්න ” අම්ම මුදල් නෝට්ටුවක් වටිටියෙ උඩින් තිබ්බ.
පූජාවත් අරගෙන එතනට ගියාම ජය සිරිමා බෝ මළුවෙ කපු රාළල දෙන්නෙක්. නෙළුම් මල් පිපෙයි, පිට කසයි වගේ. මොකක්දෝ නොගැලපීමක් මට දැණුනා.
කපු උන්නැහේ පූජා වටිටි වලට ඉහළින් අත දාල උඩම  තියෙන මුදල් නෝට්ටු ටික හනික ඩැහැ ගත්තෙ ගිජු ලිහිණියෙක් ගොදුරක් ඩැහැ ගන්නව වගේ. මල් ටික මල් ආසනේට හලා දාපු කපු උන්නැහේ, ඖෂධ භාජනේ ගෝලයට දුන්නම ගෝලය ඒක පරෙස්සමින් අරගෙන ඊට කලින් පූජා වට්ටි වල ඖෂධ භාජනත් එක්ක එකම තැනකින් තිබ්බෙ, පහසුවට වෙන්නැති මයෙ හිතේ.
අනිත් අතට කපු උන්නැහේ මොනවදෝ අළු වගයකින් අපේ නළලෙ මොට්ටුවකුත් තිබ්බ. කපු උන්නැහේ දීපු එවරෙඩි පිරිත් නූල් බෝලෙත් අරං අම්මගෙ බෑග් එකට දා ගත්ත. එතනින් පහල මළුවට බහින ගමන් මගෙයි, පොඩ්ඩගෙයි නළලෙ ගාපුව හීං සීරුවෙ පිහදා ගත්ත. පහළ මළුවට ඇවිත් බුදුන් වැඳපු අපි රුවන් වැලි මහා සෑයට යන්න පිටත් උනා.
රුවන් වැලි මහා සෑ බිමට ඇතුල් වෙන තැනම, ආලෝක පූජාව සඳහා මිල දර්ශනය  පුවරුවක සටහන් කරල . බැතිමතුන්ගෙ පහසුවට මිල ගණන් යකඩ කටිනුත් කියනව ඇහුණා. ආනිසංස විදියට දිවැස් ලැබෙන බවත් කියවුණා. දිවැස් ලබා ගැනීමේ පැකේජ් විවිධ මිල ගණන් වලට තිබුණා.
රුවන් වැලි සෑයෙන් පිටත් වෙලා, හුළං රැල්ලක් වැදි වැදි උදේට කන්න හිතාගෙන බසවක්කුලම අයිනෙ පැරණි නටඹුන් බිමක් අසල වාහනේ නවත්තපු අපි වාහනෙන් බිමට බහිනකොටම මට හිතුණෙ අපේ රටේ මිනිස්සු හරි වෙනස් නේද කියල .

වටපිටාවෙ හැම තැනම විසි කරල දාල ගිහින් තිබුණ පොලිතීන් කවර, හලල ගිහින් තිබුන කෑම දැක්කම අපේ වෙනස යස අගේට තේරෙනව ඕන කෙනෙකුට.
උදේට කාල බීල ඉවර වෙලා ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය වැඳගෙන, සඳකඩ පහණ, කුට්ටම් පොකුණ බලාගෙන ඊ ලඟට අපි ආවෙ ජේතවනාරාමයට. ඔය එන අතරෙ හැම පූජනීය ස්ථානයකම ආලෝක පූජාවෙන් දිවැස් ලබා ගන්න අවශ්‍ය කරන මිල දර්ශනය දකින්න, අහන්න පුළුවන් උනා.

ටිකෙන් ටික මිල අඩුවෙන බවක් දැක්කම මට හිතුනෙම ලැබෙන දිවැස් වල මොකක් හරි අඩුවකුත් ඇති නේද කියලයි.
වන්දනාව ටිකකට නවත්තල දවල් කෑම කාපු අපි ටිකක් විවේකයෙන් ඉඳල මිරිසවැටිය වඳින්න පිටත් උනා. මිරිසවැටියට පය තියනකොටම ඇහුණෙත් ආලෝක පූජාවෙ ආනිසංස සහ ඊට අදාළ මිල ගණන්.

ඊට පස්සෙ හැමෝටම දොහොත් මුදුන් දී ගන්න කියල, මිරිසවැටිය වඳින ගාථාව යකඩ කටින් කිවුවා. ඊට පස්සෙ බිම දණ ගහලා වඳින්න කියලත් ටිකක් සැරෙන් කිවුවම ශ්‍රද්ධාව උතුරලා පිටාර යනව වගෙත් දැනුණා. වන්දනා කරල ආපහු එනකොට අර යකඩ කටින් උපදෙස් දීපු මහත්තය, චෛත්‍ය මළුවට ඇතුල් වෙන තැන දාල ගිය සෙරෙප්පු ගොඩක් අරන් ගිහින් එලියට විසි කරනව බැන බැන.
දැන් ටික ටික හවස් වේගෙන එන නිසා අපි තීරණය කලා ඉසුරුමුණියත් බලාගෙනම ගෙදර යන්න පිටත් වෙන්න. අපේ පිරිස ඉසුරුමුණියට ඇතුල් වෙනකොටම එතන දොරටුවෙ කහ සිවුරකින් බැබළෙන පූජනීය හිමි නමක් ටිකට් පොතක් තියාගෙන සම්මාදම් සල්ලි එකතු කරනව. බුදුන් දේශනා කරපු දස අකැප වස්තු ගැන, දහම් පාසලේදි උගන්නපු පාඩම මට මතක් උනා.
ඔය අව් අස්සෙ එතන උන්න බඩ මහත පොලිස් නිළධාරිණිය අපේ නංගිව නැවැත්තුව ඇතුලට යන්න දෙන්න බෑ කියල. මොකද ප්‍රශ්නෙ කියල ඇහුවම ඇඳුම අසංවරයි කියාපි. උදේ ඉඳන් ජය සිරිමා බෝධියට, රුවන්වැලි සෑයට, ථූපාරාමයට, ලංකාරාමයට, අභයගිරියට, ජේතවනාරාමයට, මිරිසවැටියට අවුලක් නොවුණ ඇඳුම ඉසුරුමුණියට අසංවර මොකද කියල මම ඇහුව. පොලිස් නෝන කිවුවෙ දණහිස් පොල්කටු දෙක යාන්තමින් පේන නිසා අසංවරයි කියල. එතන බැබලි බැබලි සම්මාදම් එකතු කරපු හිමි නමත් ඒක අනුමත කලා.
එක පාරටම පොලිස් නෝනගෙ දණිස් දෙක දැක්ක මට කට පියාගෙන ඉන්නම බැරි උනා.
” ඔබ තුමීගෙත් දණිස් දෙක පේනවනෙ, ඔය ඇඳුමත් අසංවරයිනෙ ” කියල මට කියවුනා.
යුනිෆෝම් එකේන් පේන දණිස් පොල්කටු අසංවර නැති බව ස්වාමීන් වහන්සේ මාව දැනුවත් කලාම ආයෙම මට ප්‍රශ්නයක්. ඒක ස්වාමීන් වහන්සේට.
” එතකොට අර ඩෙනිම් කලිසමට කොට හැට්ටයක් ඇඳල පස්ස පැත්තෙ ඉරි, හැඩතල සේරම පේන ඇඳුම් අවුල් නැද්ද ?”

කියල මම අහනකොට ස්වාමීන් වහන්සේ උත්තරයක් නොදුන්නම, උන් වහන්සේගෙ සිල් බිඳෙනව ඇත්තෙ දණිස් පොල්කටු දෙක දැක්කම වෙන්න ඇති කියල හිතා ගත්තු මම පිරිසත් එක්ක ආපහු හැරිල ගෙදර එන්න පිටත් උනා.
ඉසුරුමුණි පෙම් යුවලෙ ඉන්න කාන්තාවගෙ නිරුවත් උඩුකය වහන්න සළුවකුයි, පිරිමියාගෙ දණිස් වැහෙන්න අන්දවන්න සරමකුයි, උන් දෙන්න ඉන්න අසංවර ඉරියවුව පිටට පේනවට ආවරණය කරන්න තිර රෙද්දකුයි  අරන් පස්සෙ දවසක ආයෙත් එනව කියල්ල මම හිතා ගත්තා.

උපුටාගැනිණි.

තුසිත සොයුරාගෙනි

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )