​සංරක්ෂණයට මුවාවී කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වල කෙරෙන පාපකර්මය…



කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන්නාවු ස්ථාන ඔබ දැක, අසා ඇතුවාට සැකයක් නැත. දකුණු වෙරළ තීරයේ සිට වර්තමානය වන විට ගල්කිස්ස දක්වා බටහිර වෙරළ තීරය තුලත් නිවාස, හෝටල් හෝ සිමෙන්ති ටැංකි දෙක තුනක් අටවාගත හැකි ඔනෑම ගුබ්බෑයමක කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නාමයෙන් පවත්වාගෙන යන්නාවු ජවාරම් ගුහා දක්නට ලැබේ.

දශක දෙකක පමණ සිට සංරක්ෂණයේ නාමයෙන් මෙලෙස පවත්වාගෙන යන ව්‍යාපාර ලංකාව තුල පවත්නා නීතියට සම්පුර්ණයෙන්ම පාහේ පටහැනි ක්‍රියාකාරකමක් වූවත් දේශපාලනික බලපෑම් මත මෙය වර්තමානය වන විටත් කිසිඳු බාදාවකින් තොරව ක්‍රියාත්මක කෙරෙන ජවාරමකි.
ලොව සාගරවාසී කැස්බෑ විශේෂ හතෙන් පහක් බිත්තර දැමීම සඳහා ලංකාවේ වෙරළ තීරයන් කරා ඇදේ. Loggerhead (Caretta caretta), Hawksbill (Eretmochelys imbricata) , Green (Chelonia mydas) , Olive Ridleys (Lepidochelya olivaecea), Leatherback ( Dermochelys coriacea). මෙලෙස මුහුදු වෙරළෙහි මෙම කැස්බෑවුන් දමන බිත්තර එකතු කර “සංරක්ෂණ මධ්‍යස්ථානයයන්” හි තබා පැටවුන් බිහිවු පසු නැවත මුහුදට මුදා හැරීම සහ විවිධ අනතුරු නිසා ආබාධිත කැස්බෑවුන් රැක බලා ගැනීම සිදුකරන බවත් මේ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නවුන් පවසයි. නිසි පාලනයක්, නීතියකට යටත් කිරීමක් හෝ අවම තරමින් රටේ පවත්නා නීතියවත් නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙලෙස පවත්වාගෙන යන මධ්‍යස්ථානයන්හි සිදුවන අකටයුතුකම් , නොමනා ක්‍රියාකාරකම් බොහෝය.
සංරක්ෂණයක්ද ?

——————————-
කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නවුන් අවට ප්‍රදේශය තුල සිටින ධීවරයන් ඇතුළු තවත් පුද්ගලයන්ට කැස්බෑ බිත්තර සඳහා යම් ගෙවීමක් සිදුකරයි. වෙරළේ දමන බිත්තර එකතු කරගෙන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වෙත ලබාදීම මොවුන්ගෙ කාර්යභාරයයි. මෑතකදි මා කල විමසීමකදි බිත්තරයකට රුපියල් 30 ක මුදලක් ලබාදෙන බව දැනගැනීමට හැකි විය. ඇතැම්විට කැස්බෑ විශේෂය අනුව මේ මුදල වෙනස් වේ. බැලු බැල්මට මේ ක්‍රියාපටිපාටිය තුල ගැටලුවක් දක්නට නොමැති නමුත් මෙය අතිශයින්ම හානි දායක ක්‍රියාවලියක මූලාරම්භයයි.
ඒ ඇයි?

————
ස්වාභාවිකව පවත්නා බිත්තර කූටීරයක් විවිර කර බිත්තර එලියට ගැනීමේදි කැස්බෑ බිත්තර නිරාවරණය වන පරිසර තත්වයන් විචලනය වීමකට ලක්වේ, මෙය බිත්තරවල ගොනුවෙහි සංයුතිය වෙනස් වීමට බලපෑම් ඇති කරයි. කැස්බෑවුන් යනු චලතාපී සත්ව කොඨ්ඨාසයකි. බිත්තර කුටීරය තුල පවතින උශ්ණත්වය මෙන්ම බිත්තර ස්ථානගත වී ඇති ආනතිය බිත්තරය තුල ඇති කලලයෙහි ලිංගිකත්වය තීරණය කිරීමට බලපාන සාධක වේ. එමෙන්ම බිත්තර කුටීරයේ ගැඹුර සහ හැඩය විශේෂය‍ෙන් විශේෂයට වෙනස්කම් දරයි. නමුත් බිත්තර එකතු කර නැවත “සංරක්ෂණ මධ්‍යස්ථාන” වල වල දමන්නවුන් හට මේ ගැන අවබෝධයක් නැත, අවබෝධයක් ලබා ගැනීමට උවමනාවක්ද නැත. මේ හේතුවෙන් බිත්තර ගොන්නකින් පිටතට පැමිණෙන කැස්බෑ පැටවුන් අතර ලිංගිකත්වය‍ෙ අතිශයින් අසම ව්‍යප්ත අනුපාතයක් හටගනී.. එම නිසා සංරක්ෂණ මධ්‍යස්ථාන තුලදි බිත්තර වලින් පිටතට පැමිණෙන පැටවුන්ගෙන් 97% පිරිමි පැටවුන් වීමද, ගැහැණු පැටවුන් අතිශයින්ම දුර්ලභ වීමද සිදුව ඇත.. මේ අවස්ථාව‍ෙන් ප්‍රයෝජන ගන්නා මධ්‍යස්ථාන කරුවන් ගැහැණු පැටවුන් දුර්ලභ බැවින් ඉපදුනු පසුව සාගරයට මුදා හැරීම සිදු නොකොට සිමෙන්ති ටැංකියක වසර පහක් පමණ රඳවා ගනී… එමෙන්ම මධ්‍යස්ථාන තුල කෘතිම කුටීරයන්හි නැවත බිත්තර තැන්පත් කිරීමේදි බිත්තර අතර දුර ප්‍රමාණය මිනුමට ලක් නොකිරීම හේතුවෙන් එක් බිත්තරයක උශ්ණත්වය ලඟ ඇති අනෙකට බලපෑම් සිදුකරන අතර දිලීර බැක්ටීරියා ආසාධන පැතිර ගොස් මරණ අනුපාතිකය ඉහල දමයි.
බිත්තර සිද්ධිය පමණද?

————————————-
ස්වාභාවික තත්වයන් තුලදි බිත්තර කුටීරයෙන් ඉවතට පැමිණෙන කැස්බෑ පැටවුන් ඉතාමත් කඩිනමින් වෙරළේ සිට මුහුද කරා ඇදී ගොස් පැය 48 ක් පමණ එක දිගට පිහිනීම සිදුකරයි. මේ සංසිද්ධිය බාලක උන්මාදය/ ළදරු උන්මාදය (juvenile frenzy) ලෙස හැඳින්වේ. පරිණාමය විසින් දායාද කර ඇති ශක්තිවන්තයා උචිත විමට නම් මේ කඩයිම පැටවුන් පසුකල යුතුවේ. මෙලෙස අඛන්ඩව පැය ගනනාවක් පිහිනීමට අවශ්‍ය ශක්තිය බිත්තරයෙන් ලැබෙන පෝශණය මඟින් ඔවුන් ලබාගනී. ගැඹුරු මුහුද කරා පිහිනා යන මේ පැටවුන් විවේකය ලබන්නේ පැය 48 පසුවීමත් සමඟයි. ඉන්පසු ඔවුන් ආහාර සොයා යෑම අරඹයි. මේ ගමන අතරතුර විවිධ උවදුරු මත විනාශ වන පැටවුන් සංඛ්‍යාව අදික වුවත් සැලකියයුතු ප්‍රමාණයක් ජීවිතය රැකගනී. බිත්තරයෙන් එලියට පැමිණි විගස පාථෘවියේ විද්‍යුත් චුම්බක තරංග තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නා මේ අපුරු සත්වයින් ලොව ගැඹුරුම සයුරු තීරයන්හි පිහිනා ගියත් නැවත බිත්තර දැමීම සඳහා ලංකාව නැමැති දූපතට නැවත පැමිණෙන්නේ එලෙස ග්‍රහණය කරගත් විද්‍යුත් චුම්බක තරංගයන් ඔස්සේය.
ස්වාභාවික සංසිද්ධිය එසේ වූවත් සංරක්ෂණ මධ්‍යස්ථානයැයි කියාගන්නා ජාවාරම් කඩ බිත්තර තුලින් එලියට පැමිණෙන පැටවුන් කඩිනමින් මුහුදට මුදා හරිනු වෙනුවට දින කිහිපයක් සිමෙන්ති ටැංකියකට කොටුකර තබයි.
මේකෙන් වෙන හානි මොනවාද ?

————————————————–
1. බිත්තරයෙන් පැමිණි පැටවාට ගැඹුරු දියඹ සොයා පිහිනීමට අවශ්‍ය ශක්තිය බිත්තරයෙන් ලබා දෙන්නෙ පැය 48 ක් වැනි කාල රාමුවකටය. එවිට සිමෙන්ති ටැංකියක ඔබ මොබ පීනන පැටවකු දින කිහිපයක් ගතකල විට ඒ ශක්තිය වැය වී හමාරය. ඉදින් ඔහු/ඇය නැවත ගැඹුරු දියඹ සොයා පිහිනන්නේ කෙලෙසද? උචිතයා අනුචිතයා සියල්ලෝම ජීවත් වීමට ඇති හැකියාව අතිශයින්ම සීමිත වේ.
2. සිමෙන්ති ටැංකියකට දමන විට සියළු විශේෂ මෙන්ම සියළු පැටවුන් එකට කොටුකරයි. එවිට වර්ගයා නැසීම, භක්ෂනයට ගොදුරු වීම සුලභ වේ. මා මෑතකදි නිරීක්ෂණය කල විට මෙවැනි ටැංකි තුල සිටින පැටවුන්ගෙ ගාත්‍රා සපා කෑමට ලක්වී තිබීම සුලබ ලෙස නිරීක්ෂණය කරන ලදි. මේ හේතුවෙන් නැවත ජීවත්වීමට ඇති සම්භාවිතාව තවත් පහලට යයි.
3. සංරක්ෂණ මධ්‍යස්ථාන මෙලෙස කුඩා පැටවුන් රඳවා ගනුයේ මුදල් අයකර සංචාරකයන්ට ඔවුන්ව මුදා හැරීමට ලබාදීම සඳහාය.. ඇතැම්විට මුහුදටම ඔවුන්ව අතහරි. නමුත් පෙර කී පෘථිවි විද්‍යුත් චුම්බක තරංග ග්‍රහණය කරගැනීම සඳහා වෙරළ කඩයිම ඔවුනට වැදගත් වේ.
4. පැටවුන් සාමාන්‍යයෙන් මුදා හැරිය යුත්තේ රාත්‍රි කාලයේදි වනමුත් මධ්‍යස්ථාන කරුවන් සංචාරක ආකර්ශනය සඳහා දිවා කාලය මෙයට යොදා ගනී. පැටවුන්ට ජීවත් වීමට ඇති හැකියාව තවත් එලෙස අවම වේ.
නීතිය ?


පෙරකී සිද්ධි වලට අමතරව නීති විරෝධි ලෙස වැඩුණු කැස්බෑවුන් රඳවා තබා ගැනීම සිදු කරයි. එලෙස රඳවා තබාගන්නා කැස්බෑවුන් අඩි 6×5, 4×4 ප්‍රමාණයේ සිමෙන්ති ටැංකි වල රඳවා ගනී. නිදහසේ පිහිනා යෑම උරුම කරගත් මේ සත්වයින් මෙලෙස නීති විරෝධීව තබාගන්නට ඉඩ ලබා දෙන්නේ කවුද ?
තවද එක් මධ්‍යස්ථානයක සම්පූර්ණයෙන් වැඩුණු සුදු කැස්බෑවකු රඳවා තබාගෙන සිටිනු දක්නට ලැබේ. අබාධයක් නැති මේ සත්වයා මෙලෙස රඳවාගෙන ඇත්තේ ඇයි දැයි විමසු විට ලැබුණු පිලිතුරු නම් මුදා හැරියොත් මෝරුන්ට බිලිවන බවයි. මීටර් 1.2 පමණ වන මේ කැස්බෑවා රඳවා ඇත්තේ පිටකටුවවත් නොවැසෙන තරම් ජලය ඇති අඩි 5×5 පමණ සිමෙන්ති ටැංකියක් තුලය. ඇල්බිනෝවකුට ස්වභාවධර්මය‍ෙන් ඇති උරුමය විසඳා ගන්නට ඉඩ නොදී මෙලෙස තබා ගත හැකිද? එය සදාචාරාත්මක ද ? ඇල්බිනෝ ජානයන් මෙතෙක් පැවතියේ ස්වභාවධර්මය විසින් එය ඉදිරියට ගෙනා නිසා නම් මෙලෙස රඳවා තබා ගැනීම සුදුසුද? එය සුදුසු වුවත් වසර 300 පමණ ආයු ඇති මේ සත්වයන් හැරෙන්නට ඉඩ නැති ටැංකියක එය ගත කල යුතුද? එයත් යුතු නම් පෞද්ගලික මධ්‍යස්ථාන කරුවකුට ඇල්බිනෝ කැස්බෑවකු තබා ගැනීමට ඇති නීති ප්‍රතිපාදන මොනවාද?
අපෘෂ්ඨවංශින් ඉහල පුටුවල සිටිනතාක් මේ සත්වයින් දුක් විඳිනු ඇත, සංරක්ෂණයේ නාමයෙන් ජාවාරම් සිදුවනු ඇත…ඔවුන් වඳ වීම තවත් කඩිනම් වනු ඇත. ස්ථානීය සංරක්ෂණයත්, විතැන් සංරක්ෂණයත් සිදු කල යුතු තැන් නොදත් ගොබ්බයන් වන ජීවියේ ඉහල පුටුවල ඇති තාක් වන ජීවයට සාධාරණයක් ඉටු නොවනු ඇත.
ඔබ පරිසරයට ආදරය කරන්නෙක් නම් මෙය කියවා අන් අයද දැනුවත් කරන්න

උපුටාගැනීමකි

Advertisements

One thought on “​සංරක්ෂණයට මුවාවී කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වල කෙරෙන පාපකර්මය…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )