​මීමුරේ විනාශයි වගකිව යුත්තේ කවුද?


මීට දෙවසරකට පෙර මීමුරේ පිළිබඳ ලිපියක් ලියන්නට ගිය අපට දැනුණේ අසා තිබු පරිදි අමුතුම දෙයක් මීමුරේ දක්නට ඇත්දැයි යන සැකය පමණි. ගංගා, ඇළ දොළ, කඳු මිටියාවතින් ඔබ්බට නොගියාවූ ඒ ගම්මානයේ අපේ රටේ අහුමුලුවල ඇති දුෂ්කර ගම්මානවලට පමණක් සීමා වූ ඒ සුන්දරත්වය එ දවස ද රැඳී තිබුණේ අප සිත් සතුටු කරවමිනි. ගැමි සුන්දරත්වය මෙන්ම සරල සුන්දර ජීවමාන ගම්මානයක සුවඳ එදා මීමුරේ ගමනේදි මම සැබැවින්ම අත්වින්දෙමි.

කාලය බොහෝ දේට පාර කපන්නා සේ බොහෝ දේ මේ කෙටි කාලය තුළ අප කෙරෙන් දුරස්ව ගොස් හමාර ය. මෙදා මම මීමුරේ ගමට නොගියෙමි. එදා සිට සමීප හිතුමිතුරන් වූ මීමුරේ ගමේ පාසල් ගුරුභවතුන් දකින්නට නැවත වරක් මීමුරේ යන්නට මා සිත් වුවද, ගමනේ දුෂ්කර බව ඒ ආසාවන්ට ඉඩ දුන්නේ නැත. එහෙත් පසුගිය දිනක ඔවුහු අහම්බෙන් මා සොයා පැමිණියහ. ගමනේ විස්තර පවසන්නට පෙරාතූව මගේ හිත රැඳි මීමුරේ ගම ගැන විමසන්නට මට සිතුණේ ගම පිළිබඳ පසුගිය කාලයේ මා සවනතට වැටුණු යම් යම් දේ නිසාවෙනි.
“දැන් මීමුරේ ගමේ එදා තිබුණු ලස්සන නැහැ. සංචාරකයෝ ඇවිත් අපේ ගම විනාශ කරලා…..” මා ලද පිළිතුර එසේ විය. මම තව තවත් ඒ ගැන තොරතුරු විමසුවෙමි.
“ ගමේ මේ විස්තර කිව්වට වැඩක් නැහැ. හෙට අනිද්දා දවස් තුනක නිවාඩුවක් එනවා. ඇවිත් ඇස් දෙකෙන්ම බලන්න ගමට වෙන දේ…. සති අන්තයේ ගමට බස් දෙතුන් සියයක් එනවා. මේ අය ඇවිත් ගමේ ලස්සන තැන් විඳිනවා නෙවේ විනාශ කරලයි යන්නේ. ඒත් දැන් මේ ගමේ මිනිස්සුත් මේ දේවල්වලට හුරුවෙලයි ඉන්නේ. එදා ගහක් කොළක් හිටවලා කීයක් හරි හම්බ කරගත් උදවිය අද මේ ක්‍රමයෙන් පහසුවෙන් සල්ලි හම්බ කරනවා.

කොච්චරද කිව්වොත් කිසිම දුරකතන පහසුකමක්වත් නොතිබුණු මී මුරේ ගමේ ඇත්තෝ අද මේ ව්‍යාපාරයට බැහැලා තියෙන්නේ අන්තර් ජාලයත් හවුල් කරගෙන. ඒත් මේ අය දන්නෙ නැහැ මේ පිටිපස්සෙන් ගමට අැතිවෙලා තියෙන හානිය…….” එය දිගු කතාවක මූලාරම්භයක් පමණි. දුරකනතනයක් නොමැති ගමේ අන්තර්ජාලයෙන් අද බොහෝ දේ සිදුවෙන අයුරු මම පිරික්සුවෙමි. ගැමි සුවඳ වහනය වන මී මුරේ ගමේ නොසිතු නොමැති ප්‍රතිරූප අන්තර් ජාලය පුරාම විසිරි ඇත්තේ අපූරු ආකාරයට ය.
පහසුවෙන් සල්ලි
‘Stay at night ‘Meemure’, you have stay in ‘Tent’ over the night’ ඒ එක් තැනකය. තවත් තැනක මෙසේ විය. ‘Yaman, soorya arana water world tour, ‘ Hike to Lakegala’,’Nawarathna water fall tour’ මීමුරේ ගමේ සජීවත්වයෙන් තොර බොහෝ දර්ශන ඇතුළත් කරමින් වෙබි අඩවි පුරා පිටු පිරවී ඇත්තේ සංචාරකයන්ගේ මන දොළ පිනවන චාරිකා ය. රාවණා දඬු මොනරෙන් පිටත්ව ගිය ඉතිහාසයක් ඇති මීමුරේ ගම සැබැවින්ම අලංකාරය.
එදා බොහෝ සෙයින් හු‍ෙදකලා වු මේ ගම්මානය ටිකෙන් ටික ලෝකයාට විවර වෙන්නට වූයේ ගමට ඇති පදමට දුන් ප්‍රසිද්ධියත් සමඟ ය. පසුව සූර්ය අරණ ළමා චිත්‍රපටයට මෙහි දර්ශන පසුතල ඇතුළත් වූයෙන් රට ගැන නොතකා මුදල් ඉපයීමේ අභිලාෂයෙන් කටයුතු කළ සමහරුන්ගේ උකුසු ඇස් මේ දෙසට යොමු වූයේ නිරායාසයෙනි. එහෙත් මේ හු‍ෙදකලා ගමේ සංචාරක කර්මාන්තයක් කරගෙන යෑමට තරම් කිසිදු විශේෂත්වයක් නැති බව දන්නේ මේ ගමට එක් දවසක්වත් හෝ ආගිය අයෙකු පමණි.
“2014 මැද භාගයේ සිට තමයි මේ ගම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තේ. අද මේ ගමේ සංචාරක කර්මාන්තය කෙරෙන්නේ තරගෙකට වගෙයි. එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙ‍වැනි ආකාරයෙන්. ගමේ අය වගේම පිට පළාත්වලින් අයත් ඇවිත් මේ සංචාරක කර්මාන්තය බොහෝම ජයට කරගෙන යනවා.
අද මීමුරේ ගම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නොවේ, විනාශ වෙලා කිව්වොත් හරියටම හරි. එදා මේ ගමේ මිනිස්සු තරම් ආගන්තුක සත්කාරයට කැමති අය කොහේවත් නැතුව ඇති. ගමට කෙනෙක් ආවොත් බත් වේලක් නොදී යවන්නේ නැහැ. ඒත් අද මේ ගමේ බත් වේලත් විකුණන තත්ත්වයට පත්වෙලා. අද කෑම වේලක් දෙන්නෙත් රුපියල් 200 කට. විශේෂයෙන්ම සති අන්තයේ මේ ගමේ අස්සක් මුල්ලක් නෑර මස් පුච්චනවා.

ගමේ ක්‍රමයට මස් මාළු බාබකියු කරනවා කියලා එන අයට මස් පුච්චලා දෙනවා. මේ නිසා සති අන්තයේ ගමට කුකුල් මස් කිලෝ දෙතුන් සියයක් විතර ගේනවා. අද මේ ගමට මත්පැන් වගේම විවිධ මත්ද්‍රව්‍ය ගේන්නත් පටන් අරගෙන. විශේෂයෙන්ම කුඩු ගංජා, කේරල ගංජා වගේ දේවලුත් ගේන්න පටන් ගත් නිසා උඩුදුම්බර පොලිසිය හුන්නස්ගිරියෙ පොලිස් මුර පොළක් දැම්මා.
මෙතැනින් වාහන පරීක්ෂා කර ගමට ආවත් ඒවාත් විධිමත්ව කෙරෙන්නේ නැහැ කියල තමයි චෝදනාව. දුම්කොළයි පුවකුයි එකතු කරගෙන හදන බාබුල් කියන බුලත් විටත් මේ ගමේම විකුණනවා. මේවා මේ විදියට කරන්නේ ගමේ අයත් මේවට කිසිම විරුද්ධත්වයක් නැති නිසා. ඒ අයටත් මේක හොඳ සල්ලි හොයන ක්‍රමයක් වෙලා……” එසේ පැවසූයේ ගමට හිතැති ගමේ අයෙකි.

භයානක ක්‍රියා
මේ ගමට එන පිටස්තරයන්ට රැයක් පහන් කරන්නට තරම් ඉඩකඩ මේ ගමේ නැත. මේ නිසා තැන නොතැන බලා එන සංචාරකයන්ට පහසුකම් සපයන්නට සිදුව ඇත්තේ ගමේ කෙතේ ය. නැතිනම් ගමේ දේවාලය අසලය. බර ගණන්වලට මේ පැකේජ විකුණා ගෙන කන මීමුරේ සංචාරක මඟ පෙන්වන්නන් නැති දේ ඇති කර පෙන්නමින් අපූරුවට මුදල් ගරා ගන්නා ආකාරය විස්මිත ය.
“ගමට එන මේ අයව දිය කැරැල්ල, ලකේගල නග්ගනවා බස්සනවා කියනවා. සූරිය අරණ ගඟේ කිමිද්දෝනවා කියනවා. ඒත් මෙවා හරිම භයානක ක්‍රියා. මේ අයට කිසිම ආරක්ෂාවක් නැහැ. මේ ළඟදි ලකේගලින් වැටිලා කෙනෙක් මැරුණා. තවත් අයෙක් බීලා එන අතර මඟදි තෙහෙට්ටුවට මැරුණා. තවත් කෙනෙක් ඔයේ ගිලිලා මැරුණා. සමහරු ඇඩ්වෙන්චර් කියලා කිසිම ජීවිතාරක්ෂක පුහුණුවක් නැතුව ගමේ ඇවිදිනවා.
මොනවා හරි කරදරයක් වුණොත් මේ අයට ප්‍රථමාධාර දෙන්න විදියක් නැහැ.රෝහලකට ගෙනියන්න පැය තුනක් විතර යනවා. ජීවිතාරක්ෂක පුහුණු ගම ඇතුළේ නැහැ. එන අය එන්නේ මේ කිසිත් නොදැන. මේකට මූලිකම හේතුව අද ගම ගැන මවලා තියෙන්නේ අමුතුම ආකාරයේ ප්‍රතිරූපය. එදා හු‍ෙදකලාව තිබුණ ගම අද අමුතුම සද්දයකින් පිරිලා. ගොඩාක් අය නාන්න යන්නේ ගමට ගැළපෙන ඇඳුම් ඇඳගෙන නෙවේ.
එදා කුඹුරු කොටාගෙන වේල පිරිමහ ගත්තු උදවිය අද කුඹුරේ කබානා ගහලා කුඹුරෙම තාවකාලික වැසිකිළි පවා ගහගෙන. අන්තිමට මේ උල්පත්වල වතුර යන්නේ ඔයට. සමහර වෙලාවට පිරිමි ළමයි එක්ක තරුණ ගෑනු ළමයි දෙතුන් දෙනෙක් එනවා.
ඇවිත් මොනවා කරනවද කියලා කිසිම කෙනෙක් නැහැ හොයලා බලන්න. අපිට දුක ඒ අය ගැන නෙවේ. මේවා නොදැකපු ගමේ ළමයිනුත් අද ගොඩාක් වෙනස් වෙලා. ගුරුවරු ගොඩාක් වෙහෙස වෙලා ඉගැන්වුවත් අද ගමේ දරුවෝ පාසල් යනවා එනවා හොරයි. මේ දරුවෝ ගයිඩ් වැඩේ කරගෙන යනවා, පාසල් එන්නැතුව. ඒකෙන් කීයක් හරි අතමිට මොළවා ගන්නවා. මේ නිසා මවුපියනුත් මේවට එකඟයි……..” ගමේ වත්මනෙහි සිදුවන දේ ගැන සංතාපයට පත් ගැමියෙක් අප හා පැවසීය.
මීමුරේ ගම මුල් කර ගෙන ඇති මෙම සංචාරක කර්මාන්තය නිසා අද ගමේ පාසල් දරුවන් පත්ව ඇති තත්ත්වය ශෝචනීයය. දිය කඳුරුවලට බැස ලුණු පොට්ටනියෙන් කූඩැල්ලන් කඩමින් සැතැපුම් ගණනක් මහ මඟ ගෙවා මේ පාසල් දරුවන්ට අකුරු කරන්නට ගුරු භවතුන් යන්නේ ගමේ දරුවන්ට යහපත් අනාගතයක් උරුම කරන්නටය. එහෙත් අතොරක් නැතුව ගමට ගාටන්නා වූ නන්වැදැරුම් සංස්කෘතිය නිසා අද මේ සෑම දේම කණපිට පෙරළෙන්නට ගතවන්නේ සුළු මෙහොතකි.
“මේ ගමේ පාසල් තුනක් තියෙනවා. ඇත්තෙන්ම මේ දරුවන්ට පොත පතින් හිඟයක් නැහැ. ඒත් සමහර එන්.ජී.ඕවලින් මේ දරුවන්ට උදවු කරන්නට එනවා. පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කරනවට අපිත් කැමැතියි. ඒත් මේ එන්.ජී.ඕ විවිධ අයහපත් දේට සම්බන්ධ අය.
මේ පළාතේ කෑම්ප් සයිට් කරන අය තමන්ගේ කෑම්ප් වලට කවුරු හරි ආවහම කරන්නේ මේ ගමේ දරුවන්ට උදවු කරන්න කියලා ඉල්ලන එකයි. මේ අය ළඟ විවිධ දේ තියෙනවා. ගුරුවරු විදියට අපිට මේ දරුවෝ මේවා කියන්නේ නැහැ. මේ ළමයි හරි දක්ෂයි රහස් ආරක්ෂා කරන්න. සමහර දරුවෝ තමයි මේ ගමට එන අයට මත්පැන් අලෙවි කරන්නේ. ඒ අය හයර් එකට රුපියල් 2000 ක් අරගෙන ටවුමෙන් මත්පැන් ගෙනත් දෙනවා.
ඉස්සර මේ ගමට විදුලිය තිබුණේ නැහැ. ඒත් දැන් ගමට විදුලිය ඇවිත් තියෙන නිසා ගමේ කඩ දෙකේ අයිස් පැකට් විකුණනවා. මේ නිසා දැන් ගමේ ළමයින්ගේ දත් පවා දිරාපත් වෙලා. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ කඳවුරු බිම් ගණනාවක් තියනවා. ඒත් මේවා කරන්නේ කුඹුරුවල. ප්‍රාදේශීය සභාවෙන් මේවා නතර කරන්න කිව්වත් තවමත් මේවා කුඹුරුවල කරගෙන යනවා. මේවා වැඩ කරන්න පුළුවන් කුඹුරු. ගමේ කඩ දෙකක් තියෙනවා. මේවායේ විකුණන්නේ ගමේ හාල් නෙවේ.

මේ කඩ වලටත් ටවුමෙන් නාඩු, සම්බා ගේනවා, එන අයට උයලා දෙන්න. කඳවුරු බිම් වල රෑ 10 – 11 වෙනකම් සද්ද. ඩොලැක්කි සංස්කෘතිය ගම පුරාම. ගමේ මස් නැති නිසා සමහර කඩ කිලෝ ගණනින් මස් මාළු ගෙනත් තැන්පත් කරනවා. මේ නිසා මේවා හොඳ තත්ත්වයෙන් නැහැ. මේවා තමයි එන අයත් කන්නේ. මීමුරේ ගම හොයාගෙන එන අයට සමහරු නිවැරැදි තොරතුරු දෙන්නැහැ. සමහරු හයර් එක ගන්න එන පිරිස් ඩැහැ ගන්න හදනවා. මේ නිසා ගම බලන්න එන අය අප්‍රසාදයෙන් යන අවස්ථා ඕනැ තරම්………..” අප හා එසේ පැවසුවේ ගමේ විදුහල්පතිවරයෙකි.
මුදලට වඩා රට ගැන , ගම ගැන තකන්නෝ අද මේ මීමුරේ ගමේ විරලය. සති අන්තයේ ගමේ පන්සලේද නවාතැන් සපයන්නට සිදුව ඇත්තේ නැවතත් පැමිණෙන්නවුන් හරවා යැවීම මිනිසත්කමට නොවටිනා දෙයක් නිසාය. කිතුල් ගසකට ගොඩ වී රා කළයක් පෙරාගෙන පැවැති සංස්කෘතිය අද මේ ගමේ දක්නට නැත. කිතුල් මලක් කපා කිතුල් පැණි ටිකක් කිතුල් හකුරු ටිකක් වක් කළ කාලයට ඔවුන් ආයුබෝවන් කියා ඇත.

එදා මීමුරේ තරම් ඉස්තරම්ම කිතුල් පැණි හෝ කිතුල් හකුරු සෑදූ ගමක් තවත් තිබුණේ නැත. එහෙත් අද සංචාරක කර්මාන්තය නිසා ගම්මුන් මේ රැකියා අතහැර බොහෝ කල් ය. එහෙත් පැමිණෙන අයගේ අවශ්‍යතා උදෙසා ඔවුහු බාල හෝ කලවම් වර්ගයේ කිතුල් රා, කිතුල් පැණි මෙන්ම කිතුල් හකුරු සාදා වැඩි මුදලට විකුණති.
එළිවෙනකම් සද්ද
“ රා බෝතලයක් හොයා දෙන්න. ඒකට අරක්කු බෝතලයක් දෙන්නම්” යන තත්ත්වයට මේ ගැමියන් වැටී ඇත්තේ සිය සාම්ප්‍රදායික දේ ඔවුන් විසින්ම බැහැර කළ නිසාවෙනි. ඉඳහිට විදේශිකයෙකු සුන්දර පරිසරය අත්විඳින්නට පැමිණියද බොහෝ දේශීය සංචාරකයන් පැමිණෙන්නේ හුදු විනෝදය තකා ය. නැතිනම් අන්තර් ජාලයේ අතිශයෝක්තියෙන් කර ඇති වර්ණනාව නිසා මය.
මී මුරේ ගමට නැවතත් යා යුතුමද? මම දෙවරක් සිතා බලන්නට තීරණය කළෙමි. නැවත වරක් මා යතොත් මාද කරන්නේ ඒ වරදම ය. හු‍ෙදකලා වූ මීමුරේ ගමක් නැවතත් අපට දැකිය නොහැකිය. එය සක් සුදක් සේ පැහැදිලිය. එහෙත් ඒ ගමේ වැසියන්ට තවදුරටත් නිදහසේ දිවි ගෙවීමට ඇවැසි ය.
ගමට උරුම වු සංස්කෘතිය රැක ගැනීමට අවැසිය. ගමේ වෙල් යායේ පැහෙන සුවඳැල් හාලෙන් ඉදෙන බතේ රස බලන්නට ඔවුනට ඇවැසිය. දිය කඳුරුවලින් එතෙර වී ලුණු පොට්ටනියෙන් කූඩැල්ලන් ඉවත්කරමින් පාසල් යන යුගය ඔවුනට ඇවැසිය. එසේනම් මීමුරයට යන්නවුන් එහි යායුත්තේ පා සටහන් පමණක් ඉතිරි කරමින් සිතුවිලි පමණක් ආපසු රැගෙන එන ලෙසින් බව අප අමතක නොකළ යුතුය.
මම නැවතත් අතීතයට පියමං කළෙමි. ඒ ලිපිය අවසන් කරන්නට ප්‍රථම මේ ගමේ සුවිශේෂත්වයක් පමණක් සටහන් කරන්නටය. මීමුරේ දරුවන්ගේ එකම ඉල්ලීම මීට වසරකට පෙර සිළුමිණ අපි මහක් ආසාවෙන් ඉටුකළේ ඒ දරුවන්ගේ පාසල් දිවියට හෝ මිමුරේ ගමට දශමයකින් හෝ හානියක් නොවන්නටය.

එදා මීමුරේ පාසල් දරුවන්ගේ කොළඹ චාරිකාව සංවිධානය කළ සිළුමිණ අප හා එම සංවිධායක කණ්ඩායම මේ දරුවන්ගේ ජීවිතයේ තිබූ එකම ආසාව වූ කොළඹ පෙන්වා තෑගිබෝග දී ගමට නැවතත් සේන්දු කෙරුවෙමු. එදා මේ ගමේ මවුපියන් කොළඹ ගොස් පැමිණි මේ දරුවන් පිළිගත්තේ කිරිබත් කැවුම් උයා දෙපා තවමිණි. මෙවන් සිරිත් විරිත් මීට පෙර අප අසා තිබුණේ නැත. එවන් අසමසම සංස්කෘතියකට උරුමකම් කියන්නාවූ මීමුරේ ගම රැකීම අපගේ ද යුතුකම හා වගකීම වන්නේ ය.

උපුගැනීමකි : සුභා­ෂිණි ජය­රත්න (Silumina – සිත්මල් යාය)

Advertisements

One thought on “​මීමුරේ විනාශයි වගකිව යුත්තේ කවුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )