අයියේ රට ඉඳි පැල නැද්ද ?


මා යම් ප්‍රදේශයක මුස්ලිම් පල්ලියක භූමියේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් සිදු කරමින් සිටින විට එහි සිටි අවුරුදු 22ක පමණ තරුණයෙකු මගෙන් අසා සිටි පැනයකි ඒ. පුත්තලමේ පදිංචි මේ ප්‍රියමනාප කොලු ගැටයා ගස් සිටුවීම සම්බන්ධයෙන් පැහැදී ඇති අයෙකු ලෙස දිස් වූවත් ඔහුට දීමට මා සතුව රට ඉඳි පැල නොමැතිය. මා ඒ බව ඔහුට කරුණාවෙන් දන්වා ඒවා ලංකාවේ තවාන් වල නොමැති බවත් අපේ පරිසරයට නොගැලපෙන බවත් ආදරයෙන් කියා දුනි.

වරක් මා 2014/2015 දී පමණ රට වටා සංචාරයක නිරත අවස්තාවකදී කාත්තන්කුඩියේ දී දුටු දසුන මට සිහි විය. පාරට ඉහළින් විශාල තොරණක් බැඳ ඒ දෙපස රට ඉඳිගස් වවා නිමවා තිබූ භූමි දර්ශනය මහත් ආගන්තුක හැඟීමක් ඇති කලේ නිරායාසයෙනි. බැලු බැල්මට මෙය ශ්‍රී ලංකාවේ කොටසකට වඩා අරාබියාවේ කොටසක් ලෙස දිස් වූයේ ය. මෙය අප දන්නා අපේ රටේ කොටසක් නොවන හැඟීමක් ඇති කර බැවින් සිතට ඇති වූ සිතිවිලි යටි හිතට භාර දී එය මග හැර ගියෙමි.

මඩකලපුවේ පූනානි හී ඉදිවන ශාරියා විශ්වවිද්‍යාලයේ භූමි අලංකරණය කිරීමට ද රට ඉඳි ගස් වවා ඇති බව එය අසළින් යන විට මෑතකදී නිරීක්ෂණය වූයේන් එම විශ්වවිද්‍යාලය තනා ඇති අරාබියාවේ ගෘහ නිර්මාණ අනුකූලතාවය සමග එය ගැලපෙන අයුරු දිස් වූයේ ය.

මින් ගම්‍ය වන පොදු කාරණය නම් මුස්ලිම් ආගම ද අරාබියාව ද එහි ගෘහ නිර්මාණ ශිල්පය , කලා ශිල්ප , උද්‍යාන අලංකරණ හා ආදීන්ගෙන් එකිනෙක බැඳී ඇති ආකාරයයි.

දැන් අප අනිත් ආගම් හා මෙම තත්ත්වය සංසන්දනය කරමු. බෞද්ධාගම හා සම්බන්ධ වූ අපටම ආවේණික සංස්කෘතියක් වෙයි. පන්සලට අඳින ඇදුමේ පටන් වන්දනාමාන කරන ආකාරය, වත් පිළිවෙත් , පෙරහැර , උත්සව , ඇදහිලි විශ්වාස , ගෘහ නිර්මාණය ආදී සියල්ලම ගමේ පන්සල, බෞද්ධ පරිසරය හා බැඳී පවතී. කතෝලික ආගමේද හින්දු ආගමේ ද මෙම ලක්ෂණ දැකිය හැකි වෙයි. එකම ආගමේ උවත් රටින් රටට මේ සංස්කෘතිය වෙනස් වෙයි. එනම්, ආගමක් හා බැඳී සංස්කෘතියක් පවතින අතර එය ආගමින් ආගමට වෙනස් වෙයි. එලෙසම , මෙම ආගම හා බැඳි සංස්කෘතිය කෙතරම් එකිනෙක අනුපාත වී ඇත් දැයි කිවතොත් බොහෝ සාමාන්‍ය මිනිසුන්ට ආගම හා සංස්කෘතිය අතර වෙනසක් දැනෙන්නේ නැති තරමටම එය බද්ද වී ඇත්තේ ය.

වසර 1000ක් සිටම ශ්‍රී ලංකාව වාස භූමිය කරගත් ශ්‍රී ලාංකීය මුස්ලිම් ආගමිකයන් ක්‍රම ක්‍රමයෙන් අරාබිය දැක ගත්තේ එක් දාස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුවය. ඒ තාක්ෂණයේ මහිමයෙන් ගුවන් ගමන් බහුල වීමත් සමගය. සෞදි අරාබියාවේ මක්කම හා මදීනා දේවස්ථාන වැඳ ගැනීමට එහි යන ඔවුහු සිය ආගම හා බැඳී අරාබි සංස්කෘතිය ආගමේ කොටසක් විදියට දකින්නේ ය. අරාබි ඇඳුම් පැලදුම්, ඇදහිලි විශ්වාස , ගෘහ නිර්මාණ ශිල්පයේ සිට රට ඉඳි ගහ දක්වා මේ තත්ත්වය ඔවුන් සිය ආගමේ කොටසක් ලෙස තේරුම් ගෙන ඇති සැටියකි.

වසර 1000ක් සෙසු ශ්‍රි ලාංකිකයින් සමග මිශ්‍ර වී සිටි ඔවුන් මෑත ඉතිහාසය පුරාවට සංස්කෘතිකමය වශයෙන් අපෙන් ඈත් වී ඇත්තේ ය. සිය ආගම ජීවිතය කරගත් ඉස්ලාම් ආගමිකයන් අරාබි සංස්කෘතිය ක්‍රමයෙන් වැළඳ ගන්නේ සිය ආගමට ඇති ආදරය ගෞරවය නිසාය. ඔවුන් සිය ලෙන්ගතු කමද ජාත්‍යාලය ද අරාබියාවට සින්න කර ඇත්තේ මේ සංස්කෘතික ආක්‍රමණය නිසා ය.

අද වන විට ඔවුන් බොහෝ දුර ගොස් ඇත. සෙසු ශ්‍රී ලාංකිකයන් ගෙන් සම්පූර්ණයෙන් ඈත් වී ගොස් වෙනම ජන කොට්ඨාසයක් ලෙස තනිවී ගොසිනි. සිය ආගම හා මිශ්‍ර වූ අරාබි සංස්කෘතියෙන් ඔවුන් සංතෘප්ත වී ඇත. ඔවුන් තුල අපේ මුතුන් මිත්තන් දුටු ශ්‍රි ලාංකිකත්වය මග ඇරී ගොසිනි.

මේ තත්ත්වය සෙසු ශ්‍රී ලාංකිකයින් කෙලෙසකවත් නොඉවසයි. සිය රට තුල වෙනත් රටක සංස්කෘතියක් ගොඩ නැගෙනවා බලා සිටීම යනු තවත් ජන කොට්ඨාසයකට සිය රට ආක්‍රමණය කිරීමට දී බලා සිටියා වැනිය. එබැවින් , කිසිදු රටක මෙම පරිවර්තන සෙසු ජන කොටස් විසින් අනුමත නොකරයි. එය එම රටේ සංස්කෘතිය සෝදාපාළුවට ලක් කරන අතර එය මහ ජනතාවගේ සතුට නැති කරයි.

රටක සංවර්ධන මනින අලුත් නිර්ණායකය වන Gross National Happiness යන මිණුම් දණ්ඩ අනුව රටක මිනිසුන් සතුටෙන් සිටින්නේ ඒ රටේ කාරණා හතරක් ඉෂ්ඨ වූවෝතින් පමණි.

  1. ආර්ථික සංවර්ධනය
  2. යහපත් රාජ්‍ය පරිපාලනය
  3. පරිසරයේ පැවැත්ම
  4. සංස්කෘතියේ පැවැත්ම

එනම්, මින් පිළිගැනෙන වැදගත් කාරණයක් නම් රටක සංස්කෘතිය යනු එය ජනතාවට කෙතරම් වැදගත් අංගයක් ද යන්නයි. එබැවින් එයට අභියෝගයක් ඇතිවන සෑම විටකදීම ජනතාව ඒ වෙනුවෙන් ප්‍රතික්‍රියා දක්වයි.

ශ්‍රී ලාංකීය මුස්ලිම් ආගමිකයන් විසින් අරාබි සංස්කෘතිය ආරෝපණය කර ගැනීම තුල අප දේශීය සංස්කෘතියට මෑත කාලීනව එල්ල කරන ලද අභියෝගය අති මහත් ය. කොටි සමග යුද්ධය නිසා වැඩි අවධානයට ලක් නොවූ මෙම අභියෝගයට භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ ජනතාව පසු ගිය දශකය පුරා ප්‍රතිචාර දක්වන්නට යොමු වූයේ මේ තත්ත්වය නිසාමය. ඒ ගමන අද බොහෝ දුරක් ඇවිදින් ය.

එබැවින්, මුස්ලිම් ආගමික සහෝදරියන් හා සහෝදරියන් විසින් තේරුම් ගත යුතු ගැඹුරක් මේ සංස්කෘතික බලවේගය අස්සේ ද සැඟවී ඇත. ඔබ හැකිනම් ඉස්ලාම් ආගම අරාබී සංස්කෘතියෙන් වෙන් කර ගන්න උත්සාහ කරන්න. සර්ව බලධාරී දෙවියන් එක් සංස්කෘතියකට සීමා කිරීම පටු අදහසකි. ඔහු අරාබියාවද ලංකාවද යැයි කියා ඔබට වෙනසක් කරනු ඇතැයි සිතිය නොහැකිය . ඔබ ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා ඉස්ලාමය එකට යා කරගන්න නිර්මාණශීලි වෙන්න. එවිට අද දවසේ ඔබ මෙන්ම අප ද මුහුණ දෙන බොහෝ ප්‍රශ්න හෙට දවසට ඉතිරි නොවනු ඇත. ඔබ අරාබි ඔටුවෙකු නොවී ලංකාවේ සිංහයෙකු වෙන්න යැයි මෑතකදී කවුදෝ කියා තිබුනේ මේ නිසාමය.

ඔබ අභ්‍යන්තරයෙන් කිසි වක් නැතිව බාහිරයෙන් දෙවියන් සොයා යයි නම් , ඔබට මෙම සංස්කෘතික යොමුවීම අවශ්‍ය වෙයි. ඔබ දෙවියන් අභ්‍යන්තරයෙන් සොයයි නම්, දකියි නම්, බාහිරය පිළිබඳව සිත යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවෙයි. සියළුම ආගම් සංස්කෘතික අංග වෙත බර වන්නේ අදහන්නාගේ අභ්‍යන්තරයෙන් ඒ සමාධිය මග හැරී ගිය විටදී ය. එය ඔබට මෙන්ම මට ද පොදුය.

අපි අභ්‍යන්තරයෙන් විමුක්තිය සොයමු. එවිට ඔබට රට ඉඳි ගස් සෙවීම අවශ්‍ය නොවනු ඇත. මේ හැදෙන කොස් , පොල්, අඹ , නා, කුඹුක් සෙවණේ ඔබ සොයන විමුක්තිය ඔබට ලැබෙනු ඇත.

සටහන- පැතුම් කර්නර්

One thought on “අයියේ රට ඉඳි පැල නැද්ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )