අපේ රටේ සමහරු



ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)————

* මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව
* කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ
* මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි
* බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව
* ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව
* “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය
* යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි

ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)—————–

* තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?
* අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ
* මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
* ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්
* හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ
* ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි
* ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද

මානුෂික මෙහෙයුමෙන් පස්සෙ————————————-

* ෆොන්සේක තමයි යුද්දෙ කරේ.
* රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු
* හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා
* යුධ අපරාධත් කරලනෙ මුන්
* කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව
* ඉඩම් නිදහස් කරව්
* හමුදා කඳවුරු ඉවත් කරව්

දැන්——————————————————————-

* මහින්ද කොටින්ට සල්ලි දුන්න
* කරුණ කියන්නෙ භයානක කොටියෙක්
* කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ
* යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන
* මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන
* උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන
* අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ

ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු”

– සම්පත් සාගර

MR Thief


​01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය

02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය

05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)

06 දෙහිවල ගුවන් පාලම

07 ගම්පහ ගුවන් පාලම

08 වේයන්ගොඩ ගුවන් පාලම

09 නුගේගොඩ ගුවන් පාලම

10 කොළඹ වරාය පුළුල් කිරීම

11 ඔළුවිල් වරාය

12 හම්බන්තොට වරාය

13 කන්කසන්තුරේ වරාය

14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය

15 ආරුගම්බේ පාලම

16 ඉරක්කන්ඩි පාලම

17 කින්නියා පාලම

18 සංගුපිඩ්ඩි පාලම

19 මනම්පිටිය පාලම

20 මත්තල ගුවන් තොටුපල

21 ඉරණමඩු ගුවන් තොටුපළ

22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය

23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය

24 දැදුරු ඔය ව්යාපෘතිය

25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය

26 මොරාන ජලාශ ව්යාපෘතිය

27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,

28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය

29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය

30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය

31 වේලි ඔය ව්යාපෘතිය

32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය

33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය

34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය

35 නොරොච්චෝල ලක්විජය බලාගාරය

36 උතුරු ජනනි විදුලි බලාගාරය

37 කෙරවලපිටිය බලාගාරය

38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය

39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය

40 කටුනායක අධිවේගී මාර්ගය

41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)

42 මාතර කොළඹ අධිවේගී මාර්ගය

43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය

44 උතුරු දුම්රිය මාර්ගය

45 මන්නාරම දුම්රිය මාර්ගය

46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම

47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)

48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම

49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම

50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම

51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම

52 නව දුම්රිය මිල දි ගැනිම්

53 බස් රථ 2200ක් මිලට ගැනීම

54 නෙළුම් පොකුණ කලා රඟහල

55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල

56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල

57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල

58 නෙළුම් කුලුන

59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව

62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම

63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම

64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම

65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය

66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය

67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය

68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය

69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය

70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය

71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය

72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය

73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය

74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය

75 පින්නවල ජාතික වනෝද්යානය

76 සීතාවක උද්භිද උද්යානය

77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය

78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය

79 බත්තරමුල්ල දියත උයන

80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය

81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය

82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය

83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම

84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය

85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)

86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන

87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම

88 මිස්සක ඉ නැණසල වැඩසටහන

89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය

90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම

91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම

92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම

93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම

94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම

95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය

96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය

97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම

98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය

99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය

100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

​වඳින්ටා වන්දින්ටා රම්‍ය අටමස්ථානේ


උදේ පාන්දර පහමාර වෙද්දි අපි අනුරාධපුරේ. කිරි ආහාර පූජාව හය හමාරට. 
” ජය සිරි මා බෝධිය ලඟම පාර්ක් එකේ වාහනේ දාමු. එතකොට ලේසියි ” අජිත් අයිය කිවුව.
 පැය දෙකහමාරක් විතර වාහනේ ඉඳගෙනම ආව හන්ද කට්ටිය වාහනෙන් බැස්සෙ අත පයේ හිරි ඇරගන්ටත් එක්ක. පොඩ්ඩට අලුත් ඇඳුමක් හෙම අන්දවගෙන, පැනල් රෙද්දෙන් දරුවගෙ ඔලුවත් වහගෙන මමයි බිරිඳයි වාහනෙන් බැස්සෙ අන්තිමටම.
” ඔය නෝනල මහත්තයල වාහනේ පාර්ක් එක ඇතුලටම දානකොටම අපියි ඔයාලට කතා කලේ, එන්න එන්න මල් ගන්න, කිරි ආහාර අරන් යන්න, ඖෂධ පූජාවට ඖෂධ ගන්න, වෙන තැනකට යන්න එපා, මෙතනට එන්න, අපිනෙ වාහනෙන් බහිනව දැක්ක ගමන් මුලින්ම කතා කලේ ”
පාර්ක් එක කෙලවරේ මල් කඩේකින් අපිව ආදරෙන් පිලි ගත්ත. පේලියට තියෙන මල් කඩ වල පිරිස පාර්ක් එක ඇතුලට වාහනයක් එද්දිම ඒක තමන්ට අයිති කරං ඉවරයි. ගෙදරින් අරන් ආපු මල් ටික තියන්න වට්ටියකුයි, ඖෂද පූජාවට ඖෂධ ඩිංගයි, සුදු නෙලුම් මල් දහයයි , අටසිය පණහක් වගේ සුළු මුදලකට ගන්න පුළුවන්, වට්ටිය ආපහු දීමේ පොරොන්දුව පිට. කොහොමත් ඉතින් අර ඖෂධ ටික එහෙමත් අනිත් පැත්තෙන් කඩේටම ආයෙ එනවනෙ.
” අම්මෙ අපි ගෙනාපු මල් කවරෙ ආපහු ඉල්ල ගන්න”
හීං සීරුවෙ මල් කඩේ මුදලාලි තැන අපි ගෙනාව මල් කවරෙ බිත්තියෙ එල්ල ගන්නකොට මම අම්මට මතක් කලා.
පූජාවට ලෑස්ති වෙලා, කට්ටියත් එක්ක උඩ මළුවට යද්දි උඩමළුවෙ එක තැනක එක පොදියට සෙනඟ පොර කනව. මොකද කින්ද මන්ද කියල කවුරුවත් දන්නෙ නෑ. දරුවත් එක්ක තෙරපෙන්න බැරි හන්ද අනිත් අයට පෝලිමේ එන්න ඇරල මම එලියෙන් ඇවිත් දොරකඩ උන්න. ටික වෙලාවකින් හතිමුණින් දාගෙන අපේ පිරිස එනව. 
” මොකද එතන තෙරපෙන්නෙ ? ”  මම ඇහුව.

” මල් පූජ කරනවනෙ ” .. 

” හ්ම්ම්, එහෙමද , දැන් කොහෙටද මේ පූජාව දෙන්නෙ ? ” මම ඇහුව.

” අර එහා පැත්තෙ ” අම්ම කිවුව. 

” පූජා වට්ටියට පඬුරු තිබ්බද ? ” අම්ම අහනව.

” නෑ ”

” එහෙනම් මේක තියන්න ” අම්ම මුදල් නෝට්ටුවක් වටිටියෙ උඩින් තිබ්බ.
පූජාවත් අරගෙන එතනට ගියාම ජය සිරිමා බෝ මළුවෙ කපු රාළල දෙන්නෙක්. නෙළුම් මල් පිපෙයි, පිට කසයි වගේ. මොකක්දෝ නොගැලපීමක් මට දැණුනා.
කපු උන්නැහේ පූජා වටිටි වලට ඉහළින් අත දාල උඩම  තියෙන මුදල් නෝට්ටු ටික හනික ඩැහැ ගත්තෙ ගිජු ලිහිණියෙක් ගොදුරක් ඩැහැ ගන්නව වගේ. මල් ටික මල් ආසනේට හලා දාපු කපු උන්නැහේ, ඖෂධ භාජනේ ගෝලයට දුන්නම ගෝලය ඒක පරෙස්සමින් අරගෙන ඊට කලින් පූජා වට්ටි වල ඖෂධ භාජනත් එක්ක එකම තැනකින් තිබ්බෙ, පහසුවට වෙන්නැති මයෙ හිතේ. 
අනිත් අතට කපු උන්නැහේ මොනවදෝ අළු වගයකින් අපේ නළලෙ මොට්ටුවකුත් තිබ්බ. කපු උන්නැහේ දීපු එවරෙඩි පිරිත් නූල් බෝලෙත් අරං අම්මගෙ බෑග් එකට දා ගත්ත. එතනින් පහල මළුවට බහින ගමන් මගෙයි, පොඩ්ඩගෙයි නළලෙ ගාපුව හීං සීරුවෙ පිහදා ගත්ත. පහළ මළුවට ඇවිත් බුදුන් වැඳපු අපි රුවන් වැලි මහා සෑයට යන්න පිටත් උනා.
රුවන් වැලි මහා සෑ බිමට ඇතුල් වෙන තැනම, ආලෝක පූජාව සඳහා මිල දර්ශනය  පුවරුවක සටහන් කරල . බැතිමතුන්ගෙ පහසුවට මිල ගණන් යකඩ කටිනුත් කියනව ඇහුණා. ආනිසංස විදියට දිවැස් ලැබෙන බවත් කියවුණා. දිවැස් ලබා ගැනීමේ පැකේජ් විවිධ මිල ගණන් වලට තිබුණා. 
රුවන් වැලි සෑයෙන් පිටත් වෙලා, හුළං රැල්ලක් වැදි වැදි උදේට කන්න හිතාගෙන බසවක්කුලම අයිනෙ පැරණි නටඹුන් බිමක් අසල වාහනේ නවත්තපු අපි වාහනෙන් බිමට බහිනකොටම මට හිතුණෙ අපේ රටේ මිනිස්සු හරි වෙනස් නේද කියල . වටපිටාවෙ හැම තැනම විසි කරල දාල ගිහින් තිබුණ පොලිතීන් කවර, හලල ගිහින් තිබුන කෑම දැක්කම අපේ වෙනස යස අගේට තේරෙනව ඕන කෙනෙකුට. 
උදේට කාල බීල ඉවර වෙලා ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය වැඳගෙන, සඳකඩ පහණ, කුට්ටම් පොකුණ බලාගෙන ඊ ලඟට අපි ආවෙ ජේතවනාරාමයට. ඔය එන අතරෙ හැම පූජනීය ස්ථානයකම ආලෝක පූජාවෙන් දිවැස් ලබා ගන්න අවශ්‍ය කරන මිල දර්ශනය දකින්න, අහන්න පුළුවන් උනා. ටිකෙන් ටික මිල අඩුවෙන බවක් දැක්කම මට හිතුනෙම ලැබෙන දිවැස් වල මොකක් හරි අඩුවකුත් ඇති නේද කියලයි.
වන්දනාව ටිකකට නවත්තල දවල් කෑම කාපු අපි ටිකක් විවේකයෙන් ඉඳල මිරිසවැටිය වඳින්න පිටත් උනා. මිරිසවැටියට පය තියනකොටම ඇහුණෙත් ආලෝක පූජාවෙ ආනිසංස සහ ඊට අදාළ මිල ගණන්. ඊට පස්සෙ හැමෝටම දොහොත් මුදුන් දී ගන්න කියල, මිරිසවැටිය වඳින ගාථාව යකඩ කටින් කිවුවා. ඊට පස්සෙ බිම දණ ගහලා වඳින්න කියලත් ටිකක් සැරෙන් කිවුවම ශ්‍රද්ධාව උතුරලා පිටාර යනව වගෙත් දැනුණා. වන්දනා කරල ආපහු එනකොට අර යකඩ කටින් උපදෙස් දීපු මහත්තය, චෛත්‍ය මළුවට ඇතුල් වෙන තැන දාල ගිය සෙරෙප්පු ගොඩක් අරන් ගිහින් එලියට විසි කරනව බැන බැන. 
දැන් ටික ටික හවස් වේගෙන එන නිසා අපි තීරණය කලා ඉසුරුමුණියත් බලාගෙනම ගෙදර යන්න පිටත් වෙන්න. අපේ පිරිස ඉසුරුමුණියට ඇතුල් වෙනකොටම එතන දොරටුවෙ කහ සිවුරකින් බැබළෙන පූජනීය හිමි නමක් ටිකට් පොතක් තියාගෙන සම්මාදම් සල්ලි එකතු කරනව. බුදුන් දේශනා කරපු දස අකැප වස්තු ගැන, දහම් පාසලේදි උගන්නපු පාඩම මට මතක් උනා. 
ඔය අව් අස්සෙ එතන උන්න බඩ මහත පොලිස් නිළධාරිණිය අපේ නංගිව නැවැත්තුව ඇතුලට යන්න දෙන්න බෑ කියල. මොකද ප්‍රශ්නෙ කියල ඇහුවම ඇඳුම අසංවරයි කියාපි. උදේ ඉඳන් ජය සිරිමා බෝධියට, රුවන්වැලි සෑයට, ථූපාරාමයට, ලංකාරාමයට, අභයගිරියට, ජේතවනාරාමයට, මිරිසවැටියට අවුලක් නොවුණ ඇඳුම ඉසුරුමුණියට අසංවර මොකද කියල මම ඇහුව. පොලිස් නෝන කිවුවෙ දණහිස් පොල්කටු දෙක යාන්තමින් පේන නිසා අසංවරයි කියල. එතන බැබලි බැබලි සම්මාදම් එකතු කරපු හිමි නමත් ඒක අනුමත කලා. 
එක පාරටම පොලිස් නෝනගෙ දණිස් දෙක දැක්ක මට කට පියාගෙන ඉන්නම බැරි උනා. 
” ඔබ තුමීගෙත් දණිස් දෙක පේනවනෙ, ඔය ඇඳුමත් අසංවරයිනෙ ” කියල මට කියවුනා. 
යුනිෆෝම් එකේන් පේන දණිස් පොල්කටු අසංවර නැති බව ස්වාමීන් වහන්සේ මාව දැනුවත් කලාම ආයෙම මට ප්‍රශ්නයක්. ඒක ස්වාමීන් වහන්සේට. 
” එතකොට අර ඩෙනිම් කලිසමට කොට හැට්ටයක් ඇඳල පස්ස පැත්තෙ ඉරි, හැඩතල සේරම පේන ඇඳුම් අවුල් නැද්ද ?” 

කියල මම අහනකොට ස්වාමීන් වහන්සේ උත්තරයක් නොදුන්නම, උන් වහන්සේගෙ සිල් බිඳෙනව ඇත්තෙ දණිස් පොල්කටු දෙක දැක්කම වෙන්න ඇති කියල හිතා ගත්තු මම පිරිසත් එක්ක ආපහු හැරිල ගෙදර එන්න පිටත් උනා. 
ඉසුරුමුණි පෙම් යුවලෙ ඉන්න කාන්තාවගෙ නිරුවත් උඩුකය වහන්න සළුවකුයි, පිරිමියාගෙ දණිස් වැහෙන්න අන්දවන්න සරමකුයි, උන් දෙන්න ඉන්න අසංවර ඉරියවුව පිටට පේනවට ආවරණය කරන්න තිර රෙද්දකුයි  අරන් පස්සෙ දවසක ආයෙත් එනව කියල්ල මම හිතා ගත්තා.

උපුටාගැනිණි.

තුසිත සොයුරාගෙනි 

ආචාර්ය බන්දුල විජේරත්න


ඔබතුමා ලංකාවෙන් ගිය නිසා මූලූ ලෝකයාගේ හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා.ලංකාවේ හිටියනම් ඔබතුමා සොයාගත් දේට තැනක් නොදීම මත ඔබගේ හඳවත නතර වෙන්න තිබුන

ලෝ පුරා නතරවන්නට ගිය මිලියන ගණනක් හදවත්වලට ජීවය ලබා දුන් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ නොදැන සිටියා වියහැක. ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය බන්දුල විජේරත්නය. ඇමෙරිකාවේ පදිංචිව සිට විද්‍යා පරීක්ෂණවල නියැලෙන ගෝලීය පුරවැසියෙකු වන ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ ඔහු ලක්බිම සමග කළ පිළිසඳරකි.
ඔබේ ගම් පළාත කොහේද?

මම දකුණු පළාතේ. ගාල්ල බටදූව තමයි මගේ ගම.
පවු‍ලේ විස්තර කොහොමද?

අපේ පවු‍ලේ මම බාලයා. මට වැඩිමහල් අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් ගුරු වෘත්තියේ යෙදුණා. අනෙක් අක්කා බැංකු කළමනාකාරිනියක් ලෙස රැකියාව කළා.
එතකොට ඔබේ දෙමාපියන්?

මගේ තාත්තා ඒ.ජී.පී. විජේරත්න. අම්මා කත්‍රිනා හේමලතා. දෙන්නාම විදුහල්පතිවරු ලෙස කටයුතු කරා. ගෙදරම විදුහල්පතිවරු දෙදෙනෙක් හිටපු එක අපේ අධ්‍යාපනයටත් බලපාන්න ඇති.
ඔබේ පාසල් ජීවිතය මතක් කළොත්?

මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.
තුන්වැනි ශ්‍රේණියෙන් පසු ඔබ ගියේ මොන පාසලටද?

තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී.
ඔබ කොහොමද පාසල් ගියේ?

බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසික‍ලේ පැදං මහින්දෙට ගියා.
ඒ කා‍ලේ බයිසික‍ලේ පාසල් යෑම විශේෂ වරප්‍රසාදයක්ද?

ඔව්. ඒ කා‍ලේ ෆුට් සයික‍ලේට අද මෝටර් සයික‍ලේක වටිනාකම තිබුණා. ඉතිං මම ෆුට් සයිකලෙන් මහින්දෙට යන එක ටිකක් විශේෂ දෙයක් තමයි.
ඔබ මොන විශ්වවිද්‍යාලයටද ඇතුළු වුණේ?

මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ.
එහි ඉගෙනුම ලැබුවේ කුමන භාෂාවෙන්ද?

ඉංග්‍රීසියෙන්. මම පාසල් අධ්‍යාපනය ලැබුවෙත් ඉංග්‍රීසියෙන්. ඒක නිසා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැටලුවක් වුණේ නෑ.
ඉන්දියාවේ ජීවිතය කොහොමද?

මම ශිෂ්‍යත්වලාභියෙක් නිසා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේමයි හිටියේ. කෑමත් එහෙන්ම ලැබුණා. නිවාඩු ලැබුණ ගමං මම ලංකාවට ආවා. ඒක නිසා ඉන්දියාවේ ඇවිදලා තොරතුරු බලන්න ලැබුණේ නෑ.
විශ්වවිද්‍යාලයේදී ඔබ හැදෑරුව විෂයන් කුමක්ද?

මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය.
උපාධිය ලැබිමෙන් පසු කුමක්ද කළේ?

මම කෙටි කලක් ඉන්දීය තාක්ෂණ ආයතනයේ රැකියාව කළා. ඒ සමගම මගේ උසස් අධ්‍යාපනයත් කරගෙන ගියා.
ඔබ එහිදී හැදෑරුවේ කුමන කරුණුද?

විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. ‍පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා.
ඔබ ආචාර්ය උපාධිය ලැබුවේ ඉන්දියාවෙන්ද?

නෑ. මම කෙටි කලකට පසු උසස් අධ්‍යාපනය අතහැර ලංකාවට ආවා. එලෙස ඇවිත් ITI ආයතනයේ රැකියාවක් කළා පර්යේෂණ නිලධාරියෙකු ලෙස.
එහිදී ඔබ වඩාත් පර්යේෂණවල නියැලුණේ කුමන විෂය කරුණු ගැනද?

‍පොල් පිළිබඳ බොහෝ දේ කළා. විශේෂයෙන්ම ‍පොල්වලින් ‍ප්‍රෝටීන් හදන ක්‍රමයක් ගැන මම උනන්දු වුණා. ඊට අමතරව පැඟිරි තෙල්, කුරුඳු තෙල් වැනි දේ පිළිබඳවත් මා පර්යේෂණ රැසක් කරා.
ඔබ යළිත් විදෙස් ගතවූයේ කුමන වසරේද?

1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා.
වෛද්‍ය උපකරණ පිළිබඳ ඔබ පර්යේෂණ කරන්න පටන් ගත්තේ කොයි කාලයේද?

1979 වනවිට මා එවැනි උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා.
මේ පර්යේෂණ ආරම්භ කළේ ස්වාධීනවද?

නෑ… මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා.
ඔබ පර්යේෂණ ආරම්භ කළේ කුමන ඉන්ද්‍රියකට සම්බන්ධවද?

හෘදය වස්තුව ඉලක්ක කර මා පර්යේෂණ ආරම්භ කළා.
ඇයි ඔබ හෘදය වස්තුව ඉලක්ක කර පර්යේෂණ ආරම්භ කළේ?

ඒක අහම්බයක්. මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කා‍ලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා.
ඒ කියන්නේ හෘදය වස්තුව පිළිබඳ ඔබ පර්යේෂණ ආරම්භ කළේ වාණිජ අරමුණින් කියන එකද?

නෑ. ඒ අවස්ථාවේ ඒ වගේ පර්යේෂණ අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ලෝකය පුරාම බොහෝදෙනකු ඒ ගැන පර්යේෂණ ආරම්භ කර තිබුණා.
ඔබේ පර්යේෂණය සාර්ථක වුණාද?

ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්.
මේ උපකරණයේ ක්‍රියාකාරීත්වය කෙබඳුද?

මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර ‍පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්.
මෙම නිර්මාණවල පේටන්ට් අයිතිය කාටද?

මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි.
ඔබ මෙය නිෂ්පාදනය කළේ ඇමෙරිකානු සමාගමක් වෙනුවෙන්ද?

නෑ. මා මේ පර්යේෂණ ඇරඹුවේ ඇමෙරිකානු සමාගමක සිටියදී වුණත් මේ කැතීටරය නිර්මාණය කළේ ලියෝ කොර් නම් මාගේම සමාගමක් වෙනුවෙන්. එය ඇමෙරිකානු ලියාපදිංචිය සහිත එකක්.
මේ නිර්මාණයට භාවිත කළ මූලද්‍රව්‍ය කුමක්ද?

මුලින්ම භාවිත කළේ ‍පොලියතිලින් නම් ද්‍රව්‍ය යොදා පසුව නයිලෝන් භාවිත කළා. 1980 වනවිට මෙහි නිෂ්පාදන කටයුතු නිමකර තිබුණා. මා පශ්චාත් උපාධිය සඳහා ‍පොලියතිලින් ගැන විශේෂ හදෑරීමක් කර තිබුණා.
මෙය භාවිතාවට ගැනුණේ කුමණ කාලයකදීද?

නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා.
මුලින්ම භාවිත කළේ ඇමෙරිකාවේදීද?

නෑ. මුලින්ම භාවිත කළේ ජපානයේදී. ඇමෙරිකාවේදී නව නිපැයුම් අත්හදාබැලීමට කල් යනවා. ඒ නිසා අපි මුලින්ම ජපානයටත් පසුව යුරෝපයටත් යැව්වා.
රුධිරවාහිනී අවරෝධවීමට යොදා ගන්නා ස්ටන්ට් එකත් ඔබේ නිර්මාණයක්ද?

මා ස්ටන්ට් එක නිපදවූ බව ඇත්ත. ඊට සමකාලීනව තවත් අප මෙවැනි නිර්මාණ කළා. එබැවින් එය මගේම නිර්මාණයක් කියා කියන්න අමාරුයි.
ස්ටන්ට් එක සහ ඔබ හඳුන්වා දුන් කැතීටරය අතර වෙනස කුමක්ද?

ස්ටන්ට් එක යොදා ගැනීමෙන් පසු යළි අවහිරවීම 1 වගේ අඩු අගයක් ගන්නවා. ඒත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර බැලුන මගින් එය 30 වගේ ලොකු අගයක් ගන්නවා.
ඔබේ ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය භාවිත කිරීම කොතරම් දුරට සාර්ථකද?

ඉතා සාර්ථකයි. අද වන විට ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරයක් හෝ ස්ටන්ට් එකක් දැමීම දතක් ගලවනවාටත් වඩා සරලවී තිබෙනවා. දැන් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා.
මේ වන විට ඔබ සොයාගත් ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් කොපමණ දෙනෙකු භාවිතා කර තිබෙනවාද?

මට හරියටම කියන්න බෑ. මිලියන ගණනක් විය හැකියි.
නතරවීමට ගිය හදවත් මිලියන ගණනකට යළි ජීවය දීමට හැකිවීම ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳුද?

සතුටුයි.
ඔබ සොයා ගත්තේ මේ නිපැයුම් දෙක පමණද?

නෑ. කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.
ඔබ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැද්ද?

කෙදිනකවත් මා වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැහැ.
එහෙත් ඔබ විසින් සිරුරට අදාළ පර්යේෂණ කරනවා. ශරීරයට ඇතුළු කරන උපකරණ නිපදවනවා. ඊට සදාචාරාත්මක අයිතියක් ඔබට තිබේද?

ඔබ මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව විය යුතුයි. එහෙත් ඇමෙරිකාවේ එවැනි ගැටලු නෑ. මනුෂ්‍ය ශරීරය ගැන පරීක්ෂණ කරන්න වෛද්‍යවරයෙකු වන්නට ඕන නෑ. මා කරාටත් වඩා මිනිස් සිරුරට සම්බන්ධ සංකීර්ණ පරීක්ෂණ එරට යාන්ත්‍රික ඉංජිනේරුවරුන් කරනවා. විවිධ වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා මිනිස් වර්ගයේ දියුණුවට යොදාගන්නට එහි බාධා නෑ.
ඔබ ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි විෂයන් ගැන දේශන පවත්වනවා. එහිදී විරෝධතා මතුවන්නේ නැද?

මා මෙහි විත් සිටින්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරය සොයාගත් ලාංකිකයා ලෙස නොවෙයි. ගෝලීය චරිතයක් ලෙස. ඒ නිසාදෝ මට විරුද්ධතා නෑ.
ඔබ ඇමෙරිකාවට ගොස් එහි පදිංචිවීම ගැන කනගාටු වනවාද?

නෑ… මා මෙහි සිටියා නම් ඔබ පෙර ඇසූ පරිදිම මට හෘදය ගැන පරීක්ෂණ කරන්න බෑ. මා ඇමෙරිකාවට ගිය නිසා මට වඩා මානව වර්ගයාට යහපතක් උදා වුණා කියා මට හිතෙනවා.
ඔබ  ලංකාවට පැමිණියේ විශේෂ කරුණක් නිසාද?

සැබැවින්ම අප මෙහි පැමිණ සිටිනුයේ විශේෂකාර්යක් වෙනුවෙන්. ඒ SCIENCE AND TECHNOLOGY FOR SOCIETY FORUM සමුළුවට සහභාගි වීමටයි. ඒ සඳහා මා පමණක් නොවෙයි තවත් ලාංකික විද්‍යාඥයන් 30කට අධික ගණනක් ආවා. ඇමෙරිකාවේ හුස්ටන්වලින් විතරක් 12ක් විතර ආවා.
මෙතුවක් කල් ඔබලා ශ්‍රී ලංකාවට නොපැමිණියේ ඇයි?

අපි අවා ගියා. ඒත් ජාතික කර්තවයකට අපි සම්බන්ධ කරගත්තේ නෑ. දැං ඊට වඩා වෙනත් පිළිවෙළක් තියෙනවා. විද්‍යා තාක්ෂණ ඇමැතිතුමා අපිට ඇමෙරිකාවට ඇවිත් ආරාධනා කරා මෙහි එන්න. අපි සූදානම් අපේ තාක්ෂණය, දැනුම මව්බිමට ලබාදෙන්න. මම දැනට රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරනවා. ඉදිරියේදී තව තවත් වැඩවලට දායකවන්න බලා‍පොරොත්තු වෙනවා. අපේ තත්පරයක් පවා විශාල මුදලකට මිල වෙනවා. ඒ වුණත් අපි මේ සේවය කරන්නේ නොමි‍ලේ.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු?

මගේ බිරිඳ කොන්ස්ටන්ට්. ඇය මගේ සමාගමේ කටයුතුවලට දායක වෙනවා. මගේ ලොකු පුතා විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙක්. බාල පුතා මෑතදී විවාහ වුණා. එයා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්.
අනාගතයේ කරන නිර්මාණ මොනවාද?

ඉතා වැදගත් පරීක්ෂණ කිහිපයක් දැනටමත් කරමින් ඉන්නවා.
ඔබ සොයා ගත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර් භාවිත කර දිවි බේරාගත් අය ඔබට මුණගැසී තිබෙනවාද?

අනන්තවත් මුණ ගැසී ඇති. මා එවැනි දේ ගැන සැලකිලිමත් වන්නේ නෑ. රෝගියෙකුගේ දිවි රකින්න මාගේ සොයාගැනීම පමණක් නොවෙයි තවත් විශාල පිරිසකගේ දායකත්වය ඕන කරනවා.
ඇමෙරිකාවේදී වෛද්‍ය විෂයට අදාළ පරීක්ෂණ කිරීමට යාමේදී ඔබට යම් ගැටලුවලට මුහුණදීමට වූවාද?

නෑ. ඇමෙරිකාවේදී සලකාබලන්නේ මිනිසුන්ගේ කුසලතා සහ හැකියාවන් පමණයි. ඔවුන්ගේ ජාතිය හෝ ආගම එහි තකන්නේ නෑ. ඔවුන් ගෝලීය මානසිකත්වයකින් කටයුතු කරනවා මිස අප මෙන් දූපත් මානසිකත්වයක කොටුවී නෑ.
ශ්‍රී ලංකාව කඩිනමින් සංවර්ධනය කිරීමට කඩිනමින් විය යුතු වෙනස්කම් මොනවාද?

රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි. සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමි‍ලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි.  
ඔබේ ජීවිතය දෙස හැරී බැලුවහොත් තෘප්තිමත් විය හැකිද?

මා ගාල්ලේ ඉපිද ‍පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද?

උපුටා ගැනිණි 

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

මහ වන මැද සැගව සිටි නීලගිරි මහා සෑ රදුන් ………..



නීලගිරි මහා සෑය යන නාමය ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබුණේ ඉතා මෑතදීය. පුරාවිද්‍යා කැණීම් එහි අරඹා තිබීම ඊට හේතුවයි. සියඹලාණ්‌ඩුවේ සිට පොතුවිල් දක්‌වා ඇති A-4 මාර්ගයට අයත් කොටසෙහි මැද ඇති ලාහුගලින් දකුණට හැරී කි.මී. 4.2 ක්‌ ගමන් කර හැඩ ඔයෙන් එගොඩ වී තවත් කි.මී. 1.8 ක්‌ වනාන්තරය මැදින් ඉදිරියට ගමන් කළ විට නීලගිරි මහා ථූපය හමුවේ. අඩි 1200 ක වට ප්‍රමාණයක්‌ ඊට ඇත.


මහ වනාන්තරය මැද පැවති මෙහි ළඟාවීමට ලාහුගල වැසියන් අතුරින් දැන සිටියේ වැඩිමහල් කීප දෙනකු පමණි. මාර්ගයක්‌ ඉදිනොකර පුරා විද්‍යා කැනීම් සිදු නොකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භූමිය පවරා ගැනීමක්‌ද සිදු නොවී සැලසුම් සම්පාදනය කර ඇස්‌තමේන්තු සැකසීමකින්ද තොරව 1972 දී චෛත්‍ය බඳ අඩි 20ක්‌ උසට හා අඩි 100 ක්‌ දිගට නැවතත් අලුතින් ගඩොලින් බැඳීම සිදුවී තිබිණි. මේ ගැන විස්‌තර කිසිවක්‌ දැන ගැනීමට නැත.


නැවත 2004 වර්ෂයේදී නැගෙනහිර බෞද්ධ පුනරාගමනය නමැති සංවිධානයේ කරුණාරත්න නමැති මහතෙකු හා පිරිසක්‌ ලාහුගල මඟුල් මහ විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන්ද සමග කටුපඳුරු හා එරමිනියා ගාල් කැතිවලින් කපමින් අඩි පාරක්‌ සාදාගෙන චෛත්‍යය වෙත ළඟා වුහ. එය හැදෑරීමේ හා ගවේෂණයේ චාරිකාවක්‌ විය. ඉන්පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ආධාරය ඇතිව කිලෝ මීටර් 7-8 ඈතට සොයා බැලීම් කළ හැකි විණි. එහිදී පෙනී ගියේ අනුරාධපුරය බඳු විහාරාරාම හා මාලිගාවන් පිහිටි නගරයක්‌ මෙහි පැවතෙන්නට ඇති බවය.
නීලගිරි සෑයේ ඉතිහාසය ක්‍රිස්තූ පූර්ව යුගය දක්වා විහිදෙන අතර ඒ වටා ඇති විහාර සංකීරණ නටබුන්වලින් කියාපාන්නේ ඈත අතීතයේ මෙහි වැඩසිටි මහරහතන් වහන්සේලා ප්‍රමූඛ මහා සංඝරත්නයට සෙවන දුන් අතී පූජනීය ස්තානයක් බවයි.


චෛත්‍ය ගවේෂණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් මෙතෙක් නොකියැවූ සෙල් ලිපි දෙකක් සොයාගෙන ඇත. අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී ඇති මේ සෙල්ලිපියකට අනුව ඉතිහාසයේ මෙතෙක් සැඟව සිටි මහාරාජිනි ‘චූල සීවලී දේවි’ නම් රැජනක් ගැන ද වර්තමානෙහි නීල ගිරිය ලෙස හඳුන්වන චෛත්‍ය එදා උත්තර සීවලී පබ්බත ලෙස හැඳින්වූ බවට ද අනාවරණය කොට ගෙන ඇත.
ත්‍රී සිංහලය සංකල්පය බිහිවීමට පෙර මහවැලි ගඟින් උතුර රජ රට ලෙස ද දකුණ රුහුණු (රෝහණය) ලෙස ද කඳුකරය මලය රට ලෙස ද හැඳින්වීය. පැරණි රුහුණු රටේ මධ්‍යගත ප්‍රදේශය වන වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටා ඇති නීලගිරි හෙල හා නීලගිරි චෛත්‍ය මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නැෙඟනහිර ප්‍රදේශයේ පිහිටි විශාල ම චෛත්‍ය ලෙස ය.


මේ ස්තූපයේ පරිධියේ සිට උතුරට මීටර් 355 ක් ද, දකුණට මීටර් 268 ක් ද, නැඟෙනහිරට මීටර් 348 ක් ද, බටහිරට මීටර් 198 ක් ද ලෙස හෙක්ටයාර් 36 (අක්කර 89) පුරා ඇති බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් ගවේෂණයේදී සොයා ගෙන ඇත.


මේ විහාර සංකීර්ණය උපෝසතාගාරයක් භික්ෂු ආවාස, පිළිම ගෙවල් ආදියෙන් සමන්විත අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව ද මහාචාර්ය සෝමදේව පවසයි. මේ විහාර සංකීර්ණයට උතුරින් ස්වභාවික ජල පහරක් ද, දකුණින් ස්වභාවික ගල් තලයක් ද පවතී. මේ ගල් තලාවේ ගල් විහාරයේ ඉදිකිරීම් සඳහා ඉතා සරල තාක්ෂණය භාවිතා කොට ගෙන වෙන් කරගෙන ඇති අයුරු දැකගත හැකි ය.


ස්තූපය පිහිටි බිමෙන් සිරිපතුල් ගල් විශාල ප්‍රමණය ක් හමුවී ඇත.
ලාහුගල ඈත රුහුණේ මාගම් රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි ඉපැරණි නගරයක් වුවත් එය අද වනගත ය. සතා සීපාවා හා ස්වභාව ධර්මය විසින් සුරැකි මේ ඓතිහාසික පුද බිම හා නගරය අනාගතයෙත් ස්වභාව ධර්මයේ රැකවරණය මැද සුරක්ෂිත කරගත යුතු බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එසේ නොවුණ හොත් රුවන්වැලි සෑය ථූපාරාමය අභය ගිරිය වන් නවීන ආරාමයක් බවට මේ නොයිඳුල් උරුමය පත්වන බව ප්‍රකාශ කරයි.


නීලගිරි සෑය සම්බන්ධයෙන් ගත් කල, ‘කොට්ට පැදුරු ගල’ නමින් හඳුන් වන ගල් තලාව සුවිශේෂ ය. නීලගිරි සෑයේ ඉතිහාසය ගැන සඳහන් වන, දැනට හමුවී ඇති එකම සෙල් ලිපිය එහි පිහිටා තිබිම, ඊට හේතුවයි.


පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, නීලගිරි සෑය දාගැබ කවදා ඉදි කෙරුණු එකක් ද?, එය කරවූ රජතුමා කවුරුන් ද? ආදී තොරතුරු තවම හෙළිකර ගෙන නැත. එසේ වුවත්, සෑයට මීටර් 200 ක් පමණ ඈතින් කොට්ට පැදුරු ග‍ලේ පිහිටි, බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල් ලිපියක් ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ගෙන එයි. භාතිකාභය තිස්ස (ක්‍රි. පූ. 22 – ක්‍රි. ව. 07) රජුගේ බිසව වූ ‘චූල ශිව දේවිය’, එකල ‘උත්තර සීවලී පබ්බත විහාරයට’ කළ පූජාවක් ගැන ද, අවට ඇති වැව්වලින් එන බදු ආදායම විහාරයට පිදූ බව ද, එහි සඳහන් වේ. ‘මේකෙ තේරුම, භාතිකාභය තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දිත් නීලගිරි සෑය පැවතුණාය කියන එකයි’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, එකල නීලගිරි සෑයෙහි නාමය, ‘උත්තර සීවලී පබ්බත විහාරය’ යි. ඉතිහාසයේ කියැවෙන හැටියට, භාතිකාභය තිස්ස යනු බොහෝ විදේශ සම්බන්ධකම් තිබුණු රජ කෙනෙකි. ඒ බව සිහිපත් කරන්නට මෙන් ‘කානේලියන් පබළු’ ආදී විදේශීය ආභරණ කොටස් ද නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීමෙන් හමුවී තිබේ. නීලගිරි සෑය, ඇත්තටම මහානාග රජුගේ නිමැවු ද?, නැතිනම්, භාතිකාභය තිස්ස රජුගේ නිමැවුමක් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.


වල්බිහිව ගිය වන උයනක් බඳු පරිසරයක් මැද, තැනින් තැන ගරා වැටුණු දැවැන්ත දාගැබක පෞරාණික රූපකායක් ඉදිරියෙහි නැගී සිටිනු පෙනුණි. සෑයෙහි ඉහළ කොටසේ රූස්ස ගස් වැවී තිබුණේ ය. ඈත සිට බලන විට, නීලගිරිය කොතරම් විශාල දාගැබක් ද යන්න පැහැදිලිව පෙනුණි. නීලගිරි සෑයෙහි දර්ශනය ඕනෑම කෙනෙකුට එක්වරම සිහිපත් කරන්නේ අනුරාධපුරය යි. එහි ඇති ජේතවනය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා දාගැබ්වල නිරාමිස, එහෙත් දැවැන්ත රූපකාය යි.
………………………………………………………………………………………………………….


වර්ථමාන නීලගිරි මහා ථූපය


ගෞතම බුදුරජුන් ජීවමානව වැඩ සිටි සමයේ ද බුදුන් උදෙසා ලංකාවේ දාගැබ් ඉදිවී තිබේ. ත්‍රිකුණාමලයේ හිරිගඩු සෑය හා මහියංගණ මහා සෑය ඒ අතර වේ.


ඉපැරැණි රුහුණු මාගම් රාජධානි සමයේ ලක්වැසියන්ගේ ගෞරව බහුමානයට ලක්වූ නීලගිරි චෛත්‍ය කැණීමේදී ධාතූන් වහන්සේ අතිවිශාල ප්‍රමාණයක් හමුවී ඇත. ඒ අතර කරඬු දෙකක සුවිශේෂී ලෙස තැන්පත් කරන ලද ධාතූන් වහන්සේ කිහිප නමක් හමු වී තිබේ. එම ධාතූන් වහන්සේ ශ්‍රී ගෞතම සර්වඥයන් වහන්සේගේ යැයි අනුමාන කරනු ලබයි. පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව එම ධාතු රටපුරා ප්‍රදර්ශනය කරනු ලැබීය.


මෙසේ හමුවූ ධාතූන් වහන්සේ සත්‍ය වශයෙන්ම ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේ යැයි ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය. එහෙත් එම ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ සුවිශේෂී ස්වභාවය අනුව එම ධාතූන් සර්වඥයන් වහන්සේගේ යැයි සාධාරණ සැකයක් මතුවී තිබෙන බව හෙතෙම ප්‍රකාශ කරයි. එහෙත් නීලගිරි චෛත්‍ය කැණීමේදී හමුවූ අනෙක් ධාතූන් වහන්සේ පිළිබඳ එවන් අදහසක් ඉදිරිපත් කළ නොහැකි බව ද දිසානායක මහතා පවසයි.


සර්වඥයන් වහන්සේගේ යැයි සැලැකෙන ධාතූන් වහන්සේ ගල් කරඬුවක් තුළ බහාලන ලද මැටි කරඬුවක් තුළ වූ රන් කරඬුවක තැන්පත් කර තිබිණි. ධාතූන් වහන්සේ රන් කරඬුව තුළ වූ සුරයක් වැනි කුඩා මංජුසාවක වැඩ සිටියහ.


නීලගිරියෙන් හමු වූ සුවිශේෂී කරඬු දෙකින් එකක් පතුලේ නෙළුම් මල කැටයම් කර තිබු අතර අනෙක් ධාතූන් වහන්සේ තැන්පත් කර තිබු කුඩා මංජුසාවේ ශ්‍රීපාදය සටහන් කොට තිබිණ.
මේ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ආකාරය දෙස බලද්දී එවන් ධාතු තැන්පත් කිරීමක් මෙතෙක් හමුවී නැත. නෙළුම් මල සහ ශ්‍රී පතුල බුදුන් වහන්සේ බව හැඟවීමට භාවිත කරනු ලබන සංකේතයන්ය. ඉපැරැණි කලා හෝ පුරාණ සම්ප්‍රදාය අනුව බුදුන් හැර වෙනත් කිසිවකු උදෙසා ශ්‍රී පතුල හා නෙළුම් මල භාවිත කිරීමක් සිදුව නැත. එහෙයින් මේ ධාතූන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ ය යන්න පිළිබඳ මතයක් ඉදිරිපත් වේ. එහෙත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේදී එවන් නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීම සිදු නොවේ.


ජනප්‍රවාදයට අනුව ක්‍රි. පූර්ව 240 දී රජකළ සූරතිස්ස රජු විසින් නීලගිරි සෑය ඉදිකොට ඇතැයි සැලැකේ. නීලගිරි සෑයේ ගඩොල ශාස්ත්‍රවෙල වෙහෙරෙහි ගඩොල හා සමාන වේ. ලාහුගල වනෝද්‍යානයේ හැඩඔයෙන් එපිට ඇති නීලගිරි චෛත්‍ය 1927 – 28 වර්ෂයේදී හෝර්කාට් මහතා විසින් ප්‍රතිසංස්කරණය කිරීමට පෙර අතීත රජ දරුවන් අතින් තෙවරක් ප්‍රතිසංස්කරණය වී තිබේ. ගරාවැටුණු කොත සහිත මේ චෛත්‍ය කැණීම් කටයුතු 2011 වසරේදී ආරම්භ විය. සර්වඥයන් වහඅන්සේගේ ධාතූන් යැයි සැලැකෙන කරඬු හමුවී ඇත්තේ චෛත්‍යයේ ගරාවැටුණු කොටසේ තිබීය. එම කරඬු හමු වූ සන්ධර්භය චෛත්‍යයේ පැරැණිම අවධිය සේ සැලැකේ. අතීතයේ ලේඛන සම්ප්‍රදාය බහුල නොවූයෙන් මෙම කරඬු තුළ හෝ ආශ්‍රයේ මෙතෙක් අක්ෂර සටහන් හමුවී නොමැත. එහෙත් ‘පහණ’ යන්න සටහන් සෙල්ලිපියක් පමණක් හමුවූ බව සෙනරත් දිසානායක මහතා පවසයි.


ක්‍රි. පූ. 2 වැනි සියවසේ දී කාවන්තිස්ස රාජධානී සමයේ විශාල ජනාවාසයක් වූ නීලගිරිය අවට ආරාම සංකීර්ණ රැසක් පිහිටා තිබේ. රජගල ශාස්ත්‍රවෙල ඒ අතර ප්‍රමුඛය. නීලගිරි වනයේ සැඟව ගිය භූමියේ නටබුන්ව පවත්නා වැව් පද්ධතිය එම ජනාවාසයේ විසූ ජනයාගේ ජල පහසුව සපයන්නට ඇත. නීලගිරි හෙලෙහි ලෙන් පද්ධතිය බ්‍රාහ්මිය අක්ෂර සහිත ලිපිවලින් ද ඓතිහාසික මානවයාගේ සිතුවම්වලින් ද සමන්විත වේ.


නීලගිරි ස්ථූපයට සතර දිසාවෙන් ම ආරාම සංකීර්ණයේ පිටත ප්‍රාකාරය ලෙස සැලැකෙන සාධක හමුවී ඇත. අතීතයේ ‘මහා විහාරය’ ලෙස නීලගිරිය හඳුන්වා ඇති බව ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.


භාතිකාභය තිස්ස රජ සමයට අයත් සෙල්ලිපියක් නීලගිරි චෛත්‍ය අවට තිබී හමු වී ඇත. උත්තර සීවලී පබ්බත විහාරයට චුල සීවලී දේවිය විසින් කරන ලද ප්‍රදානයක් පිළිබඳ තොරතුරු එහි සටහන් වේ. උසින් අඩි 72 ක් පමණ යැයි අනුමාන කෙරෙන අඩි 628 ක් පමණ වූ වට ප්‍රමාණයකින් යුත් නීලගිරි චෛත්‍ය සංරක්ෂණ කටයුතු නුදුරේදී ඇරැඹීමට නියමිතය. සංරක්ෂණයෙන් පසු එහි වූ ධාතූන් වහන්සේ එහිම තැන්පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
නීලගිරි චෛත්‍යයෙන් හමුවූ ද්‍රව්‍ය මේ වන විට විශ්ලේෂණය කරමින් සිටියත් චෛත්‍යයේ කාල නිර්ණය කිරීමක් මෙතෙක් සිදුවී නොමැත.


නීලගිරිය ආසන්නයේ රජගල විහාර සංකීර්ණයේ මිහිඳු හිමියන්ගේ ධාතුන් තැන්පත් කළ බවට ද සෙල්ලිපියක් හමු වී ඇත. එහෙත් නීලගිරියෙන් එවන් සටහනක් හමු නොවීම හා කාල නිර්ණය මඟින් විද්‍යාත්මක තහවුරු කිරීමක් නොකළ බැවින් සුවිශේෂි කරඬු තුළ බහාලන ලද ධාතුන් වහන්සේ සර්වඥයන් වහන්සේගේම යැයි ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැලි වේ.
නීලගිරි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ලාහුගල පුරාවිද්‍යා රක්ෂිතයේදී ශ්‍රී ගෞතම සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේ සිත් සේ වන්දනා කරගැනීමට ඔබට හැකි වනු ඇත.


උපුටා ගැනීම රාජධානි පිටුවෙන්