​වඳින්ටා වන්දින්ටා රම්‍ය අටමස්ථානේ


උදේ පාන්දර පහමාර වෙද්දි අපි අනුරාධපුරේ. කිරි ආහාර පූජාව හය හමාරට.
” ජය සිරි මා බෝධිය ලඟම පාර්ක් එකේ වාහනේ දාමු. එතකොට ලේසියි ” අජිත් අයිය කිවුව.
පැය දෙකහමාරක් විතර වාහනේ ඉඳගෙනම ආව හන්ද කට්ටිය වාහනෙන් බැස්සෙ අත පයේ හිරි ඇරගන්ටත් එක්ක. පොඩ්ඩට අලුත් ඇඳුමක් හෙම අන්දවගෙන, පැනල් රෙද්දෙන් දරුවගෙ ඔලුවත් වහගෙන මමයි බිරිඳයි වාහනෙන් බැස්සෙ අන්තිමටම.
” ඔය නෝනල මහත්තයල වාහනේ පාර්ක් එක ඇතුලටම දානකොටම අපියි ඔයාලට කතා කලේ, එන්න එන්න මල් ගන්න, කිරි ආහාර අරන් යන්න, ඖෂධ පූජාවට ඖෂධ ගන්න, වෙන තැනකට යන්න එපා, මෙතනට එන්න, අපිනෙ වාහනෙන් බහිනව දැක්ක ගමන් මුලින්ම කතා කලේ ”
පාර්ක් එක කෙලවරේ මල් කඩේකින් අපිව ආදරෙන් පිලි ගත්ත. පේලියට තියෙන මල් කඩ වල පිරිස පාර්ක් එක ඇතුලට වාහනයක් එද්දිම ඒක තමන්ට අයිති කරං ඉවරයි. ගෙදරින් අරන් ආපු මල් ටික තියන්න වට්ටියකුයි, ඖෂද පූජාවට ඖෂධ ඩිංගයි, සුදු නෙලුම් මල් දහයයි , අටසිය පණහක් වගේ සුළු මුදලකට ගන්න පුළුවන්, වට්ටිය ආපහු දීමේ පොරොන්දුව පිට. කොහොමත් ඉතින් අර ඖෂධ ටික එහෙමත් අනිත් පැත්තෙන් කඩේටම ආයෙ එනවනෙ.
” අම්මෙ අපි ගෙනාපු මල් කවරෙ ආපහු ඉල්ල ගන්න”
හීං සීරුවෙ මල් කඩේ මුදලාලි තැන අපි ගෙනාව මල් කවරෙ බිත්තියෙ එල්ල ගන්නකොට මම අම්මට මතක් කලා.
පූජාවට ලෑස්ති වෙලා, කට්ටියත් එක්ක උඩ මළුවට යද්දි උඩමළුවෙ එක තැනක එක පොදියට සෙනඟ පොර කනව. මොකද කින්ද මන්ද කියල කවුරුවත් දන්නෙ නෑ. දරුවත් එක්ක තෙරපෙන්න බැරි හන්ද අනිත් අයට පෝලිමේ එන්න ඇරල මම එලියෙන් ඇවිත් දොරකඩ උන්න. ටික වෙලාවකින් හතිමුණින් දාගෙන අපේ පිරිස එනව.
” මොකද එතන තෙරපෙන්නෙ ? ”  මම ඇහුව.

” මල් පූජ කරනවනෙ ” ..

” හ්ම්ම්, එහෙමද , දැන් කොහෙටද මේ පූජාව දෙන්නෙ ? ” මම ඇහුව.

” අර එහා පැත්තෙ ” අම්ම කිවුව.

” පූජා වට්ටියට පඬුරු තිබ්බද ? ” අම්ම අහනව.

” නෑ ”

” එහෙනම් මේක තියන්න ” අම්ම මුදල් නෝට්ටුවක් වටිටියෙ උඩින් තිබ්බ.
පූජාවත් අරගෙන එතනට ගියාම ජය සිරිමා බෝ මළුවෙ කපු රාළල දෙන්නෙක්. නෙළුම් මල් පිපෙයි, පිට කසයි වගේ. මොකක්දෝ නොගැලපීමක් මට දැණුනා.
කපු උන්නැහේ පූජා වටිටි වලට ඉහළින් අත දාල උඩම  තියෙන මුදල් නෝට්ටු ටික හනික ඩැහැ ගත්තෙ ගිජු ලිහිණියෙක් ගොදුරක් ඩැහැ ගන්නව වගේ. මල් ටික මල් ආසනේට හලා දාපු කපු උන්නැහේ, ඖෂධ භාජනේ ගෝලයට දුන්නම ගෝලය ඒක පරෙස්සමින් අරගෙන ඊට කලින් පූජා වට්ටි වල ඖෂධ භාජනත් එක්ක එකම තැනකින් තිබ්බෙ, පහසුවට වෙන්නැති මයෙ හිතේ.
අනිත් අතට කපු උන්නැහේ මොනවදෝ අළු වගයකින් අපේ නළලෙ මොට්ටුවකුත් තිබ්බ. කපු උන්නැහේ දීපු එවරෙඩි පිරිත් නූල් බෝලෙත් අරං අම්මගෙ බෑග් එකට දා ගත්ත. එතනින් පහල මළුවට බහින ගමන් මගෙයි, පොඩ්ඩගෙයි නළලෙ ගාපුව හීං සීරුවෙ පිහදා ගත්ත. පහළ මළුවට ඇවිත් බුදුන් වැඳපු අපි රුවන් වැලි මහා සෑයට යන්න පිටත් උනා.
රුවන් වැලි මහා සෑ බිමට ඇතුල් වෙන තැනම, ආලෝක පූජාව සඳහා මිල දර්ශනය  පුවරුවක සටහන් කරල . බැතිමතුන්ගෙ පහසුවට මිල ගණන් යකඩ කටිනුත් කියනව ඇහුණා. ආනිසංස විදියට දිවැස් ලැබෙන බවත් කියවුණා. දිවැස් ලබා ගැනීමේ පැකේජ් විවිධ මිල ගණන් වලට තිබුණා.
රුවන් වැලි සෑයෙන් පිටත් වෙලා, හුළං රැල්ලක් වැදි වැදි උදේට කන්න හිතාගෙන බසවක්කුලම අයිනෙ පැරණි නටඹුන් බිමක් අසල වාහනේ නවත්තපු අපි වාහනෙන් බිමට බහිනකොටම මට හිතුණෙ අපේ රටේ මිනිස්සු හරි වෙනස් නේද කියල .

වටපිටාවෙ හැම තැනම විසි කරල දාල ගිහින් තිබුණ පොලිතීන් කවර, හලල ගිහින් තිබුන කෑම දැක්කම අපේ වෙනස යස අගේට තේරෙනව ඕන කෙනෙකුට.
උදේට කාල බීල ඉවර වෙලා ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය වැඳගෙන, සඳකඩ පහණ, කුට්ටම් පොකුණ බලාගෙන ඊ ලඟට අපි ආවෙ ජේතවනාරාමයට. ඔය එන අතරෙ හැම පූජනීය ස්ථානයකම ආලෝක පූජාවෙන් දිවැස් ලබා ගන්න අවශ්‍ය කරන මිල දර්ශනය දකින්න, අහන්න පුළුවන් උනා.

ටිකෙන් ටික මිල අඩුවෙන බවක් දැක්කම මට හිතුනෙම ලැබෙන දිවැස් වල මොකක් හරි අඩුවකුත් ඇති නේද කියලයි.
වන්දනාව ටිකකට නවත්තල දවල් කෑම කාපු අපි ටිකක් විවේකයෙන් ඉඳල මිරිසවැටිය වඳින්න පිටත් උනා. මිරිසවැටියට පය තියනකොටම ඇහුණෙත් ආලෝක පූජාවෙ ආනිසංස සහ ඊට අදාළ මිල ගණන්.

ඊට පස්සෙ හැමෝටම දොහොත් මුදුන් දී ගන්න කියල, මිරිසවැටිය වඳින ගාථාව යකඩ කටින් කිවුවා. ඊට පස්සෙ බිම දණ ගහලා වඳින්න කියලත් ටිකක් සැරෙන් කිවුවම ශ්‍රද්ධාව උතුරලා පිටාර යනව වගෙත් දැනුණා. වන්දනා කරල ආපහු එනකොට අර යකඩ කටින් උපදෙස් දීපු මහත්තය, චෛත්‍ය මළුවට ඇතුල් වෙන තැන දාල ගිය සෙරෙප්පු ගොඩක් අරන් ගිහින් එලියට විසි කරනව බැන බැන.
දැන් ටික ටික හවස් වේගෙන එන නිසා අපි තීරණය කලා ඉසුරුමුණියත් බලාගෙනම ගෙදර යන්න පිටත් වෙන්න. අපේ පිරිස ඉසුරුමුණියට ඇතුල් වෙනකොටම එතන දොරටුවෙ කහ සිවුරකින් බැබළෙන පූජනීය හිමි නමක් ටිකට් පොතක් තියාගෙන සම්මාදම් සල්ලි එකතු කරනව. බුදුන් දේශනා කරපු දස අකැප වස්තු ගැන, දහම් පාසලේදි උගන්නපු පාඩම මට මතක් උනා.
ඔය අව් අස්සෙ එතන උන්න බඩ මහත පොලිස් නිළධාරිණිය අපේ නංගිව නැවැත්තුව ඇතුලට යන්න දෙන්න බෑ කියල. මොකද ප්‍රශ්නෙ කියල ඇහුවම ඇඳුම අසංවරයි කියාපි. උදේ ඉඳන් ජය සිරිමා බෝධියට, රුවන්වැලි සෑයට, ථූපාරාමයට, ලංකාරාමයට, අභයගිරියට, ජේතවනාරාමයට, මිරිසවැටියට අවුලක් නොවුණ ඇඳුම ඉසුරුමුණියට අසංවර මොකද කියල මම ඇහුව. පොලිස් නෝන කිවුවෙ දණහිස් පොල්කටු දෙක යාන්තමින් පේන නිසා අසංවරයි කියල. එතන බැබලි බැබලි සම්මාදම් එකතු කරපු හිමි නමත් ඒක අනුමත කලා.
එක පාරටම පොලිස් නෝනගෙ දණිස් දෙක දැක්ක මට කට පියාගෙන ඉන්නම බැරි උනා.
” ඔබ තුමීගෙත් දණිස් දෙක පේනවනෙ, ඔය ඇඳුමත් අසංවරයිනෙ ” කියල මට කියවුනා.
යුනිෆෝම් එකේන් පේන දණිස් පොල්කටු අසංවර නැති බව ස්වාමීන් වහන්සේ මාව දැනුවත් කලාම ආයෙම මට ප්‍රශ්නයක්. ඒක ස්වාමීන් වහන්සේට.
” එතකොට අර ඩෙනිම් කලිසමට කොට හැට්ටයක් ඇඳල පස්ස පැත්තෙ ඉරි, හැඩතල සේරම පේන ඇඳුම් අවුල් නැද්ද ?”

කියල මම අහනකොට ස්වාමීන් වහන්සේ උත්තරයක් නොදුන්නම, උන් වහන්සේගෙ සිල් බිඳෙනව ඇත්තෙ දණිස් පොල්කටු දෙක දැක්කම වෙන්න ඇති කියල හිතා ගත්තු මම පිරිසත් එක්ක ආපහු හැරිල ගෙදර එන්න පිටත් උනා.
ඉසුරුමුණි පෙම් යුවලෙ ඉන්න කාන්තාවගෙ නිරුවත් උඩුකය වහන්න සළුවකුයි, පිරිමියාගෙ දණිස් වැහෙන්න අන්දවන්න සරමකුයි, උන් දෙන්න ඉන්න අසංවර ඉරියවුව පිටට පේනවට ආවරණය කරන්න තිර රෙද්දකුයි  අරන් පස්සෙ දවසක ආයෙත් එනව කියල්ල මම හිතා ගත්තා.

උපුටාගැනිණි.

තුසිත සොයුරාගෙනි

මහ වන මැද සැගව සිටි නීලගිරි මහා සෑ රදුන් ………..



නීලගිරි මහා සෑය යන නාමය ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබුණේ ඉතා මෑතදීය. පුරාවිද්‍යා කැණීම් එහි අරඹා තිබීම ඊට හේතුවයි. සියඹලාණ්‌ඩුවේ සිට පොතුවිල් දක්‌වා ඇති A-4 මාර්ගයට අයත් කොටසෙහි මැද ඇති ලාහුගලින් දකුණට හැරී කි.මී. 4.2 ක්‌ ගමන් කර හැඩ ඔයෙන් එගොඩ වී තවත් කි.මී. 1.8 ක්‌ වනාන්තරය මැදින් ඉදිරියට ගමන් කළ විට නීලගිරි මහා ථූපය හමුවේ. අඩි 1200 ක වට ප්‍රමාණයක්‌ ඊට ඇත.


මහ වනාන්තරය මැද පැවති මෙහි ළඟාවීමට ලාහුගල වැසියන් අතුරින් දැන සිටියේ වැඩිමහල් කීප දෙනකු පමණි. මාර්ගයක්‌ ඉදිනොකර පුරා විද්‍යා කැනීම් සිදු නොකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භූමිය පවරා ගැනීමක්‌ද සිදු නොවී සැලසුම් සම්පාදනය කර ඇස්‌තමේන්තු සැකසීමකින්ද තොරව 1972 දී චෛත්‍ය බඳ අඩි 20ක්‌ උසට හා අඩි 100 ක්‌ දිගට නැවතත් අලුතින් ගඩොලින් බැඳීම සිදුවී තිබිණි. මේ ගැන විස්‌තර කිසිවක්‌ දැන ගැනීමට නැත.


නැවත 2004 වර්ෂයේදී නැගෙනහිර බෞද්ධ පුනරාගමනය නමැති සංවිධානයේ කරුණාරත්න නමැති මහතෙකු හා පිරිසක්‌ ලාහුගල මඟුල් මහ විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන්ද සමග කටුපඳුරු හා එරමිනියා ගාල් කැතිවලින් කපමින් අඩි පාරක්‌ සාදාගෙන චෛත්‍යය වෙත ළඟා වුහ. එය හැදෑරීමේ හා ගවේෂණයේ චාරිකාවක්‌ විය. ඉන්පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ආධාරය ඇතිව කිලෝ මීටර් 7-8 ඈතට සොයා බැලීම් කළ හැකි විණි. එහිදී පෙනී ගියේ අනුරාධපුරය බඳු විහාරාරාම හා මාලිගාවන් පිහිටි නගරයක්‌ මෙහි පැවතෙන්නට ඇති බවය.
නීලගිරි සෑයේ ඉතිහාසය ක්‍රිස්තූ පූර්ව යුගය දක්වා විහිදෙන අතර ඒ වටා ඇති විහාර සංකීරණ නටබුන්වලින් කියාපාන්නේ ඈත අතීතයේ මෙහි වැඩසිටි මහරහතන් වහන්සේලා ප්‍රමූඛ මහා සංඝරත්නයට සෙවන දුන් අතී පූජනීය ස්තානයක් බවයි.


චෛත්‍ය ගවේෂණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් මෙතෙක් නොකියැවූ සෙල් ලිපි දෙකක් සොයාගෙන ඇත. අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවී ඇති මේ සෙල්ලිපියකට අනුව ඉතිහාසයේ මෙතෙක් සැඟව සිටි මහාරාජිනි ‘චූල සීවලී දේවි’ නම් රැජනක් ගැන ද වර්තමානෙහි නීල ගිරිය ලෙස හඳුන්වන චෛත්‍ය එදා උත්තර සීවලී පබ්බත ලෙස හැඳින්වූ බවට ද අනාවරණය කොට ගෙන ඇත.
ත්‍රී සිංහලය සංකල්පය බිහිවීමට පෙර මහවැලි ගඟින් උතුර රජ රට ලෙස ද දකුණ රුහුණු (රෝහණය) ලෙස ද කඳුකරය මලය රට ලෙස ද හැඳින්වීය. පැරණි රුහුණු රටේ මධ්‍යගත ප්‍රදේශය වන වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටා ඇති නීලගිරි හෙල හා නීලගිරි චෛත්‍ය මේ වනවිට විද්වතුන් අතර කතාබහට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නැෙඟනහිර ප්‍රදේශයේ පිහිටි විශාල ම චෛත්‍ය ලෙස ය.


මේ ස්තූපයේ පරිධියේ සිට උතුරට මීටර් 355 ක් ද, දකුණට මීටර් 268 ක් ද, නැඟෙනහිරට මීටර් 348 ක් ද, බටහිරට මීටර් 198 ක් ද ලෙස හෙක්ටයාර් 36 (අක්කර 89) පුරා ඇති බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් ගවේෂණයේදී සොයා ගෙන ඇත.


මේ විහාර සංකීර්ණය උපෝසතාගාරයක් භික්ෂු ආවාස, පිළිම ගෙවල් ආදියෙන් සමන්විත අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව ද මහාචාර්ය සෝමදේව පවසයි. මේ විහාර සංකීර්ණයට උතුරින් ස්වභාවික ජල පහරක් ද, දකුණින් ස්වභාවික ගල් තලයක් ද පවතී. මේ ගල් තලාවේ ගල් විහාරයේ ඉදිකිරීම් සඳහා ඉතා සරල තාක්ෂණය භාවිතා කොට ගෙන වෙන් කරගෙන ඇති අයුරු දැකගත හැකි ය.


ස්තූපය පිහිටි බිමෙන් සිරිපතුල් ගල් විශාල ප්‍රමණය ක් හමුවී ඇත.
ලාහුගල ඈත රුහුණේ මාගම් රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි ඉපැරණි නගරයක් වුවත් එය අද වනගත ය. සතා සීපාවා හා ස්වභාව ධර්මය විසින් සුරැකි මේ ඓතිහාසික පුද බිම හා නගරය අනාගතයෙත් ස්වභාව ධර්මයේ රැකවරණය මැද සුරක්ෂිත කරගත යුතු බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව එසේ නොවුණ හොත් රුවන්වැලි සෑය ථූපාරාමය අභය ගිරිය වන් නවීන ආරාමයක් බවට මේ නොයිඳුල් උරුමය පත්වන බව ප්‍රකාශ කරයි.


නීලගිරි සෑය සම්බන්ධයෙන් ගත් කල, ‘කොට්ට පැදුරු ගල’ නමින් හඳුන් වන ගල් තලාව සුවිශේෂ ය. නීලගිරි සෑයේ ඉතිහාසය ගැන සඳහන් වන, දැනට හමුවී ඇති එකම සෙල් ලිපිය එහි පිහිටා තිබිම, ඊට හේතුවයි.


පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, නීලගිරි සෑය දාගැබ කවදා ඉදි කෙරුණු එකක් ද?, එය කරවූ රජතුමා කවුරුන් ද? ආදී තොරතුරු තවම හෙළිකර ගෙන නැත. එසේ වුවත්, සෑයට මීටර් 200 ක් පමණ ඈතින් කොට්ට පැදුරු ග‍ලේ පිහිටි, බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල් ලිපියක් ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ගෙන එයි. භාතිකාභය තිස්ස (ක්‍රි. පූ. 22 – ක්‍රි. ව. 07) රජුගේ බිසව වූ ‘චූල ශිව දේවිය’, එකල ‘උත්තර සීවලී පබ්බත විහාරයට’ කළ පූජාවක් ගැන ද, අවට ඇති වැව්වලින් එන බදු ආදායම විහාරයට පිදූ බව ද, එහි සඳහන් වේ. ‘මේකෙ තේරුම, භාතිකාභය තිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දිත් නීලගිරි සෑය පැවතුණාය කියන එකයි’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය. පුරාවිද්‍යා නිලධාරීන් පවසන අන්දමට, එකල නීලගිරි සෑයෙහි නාමය, ‘උත්තර සීවලී පබ්බත විහාරය’ යි. ඉතිහාසයේ කියැවෙන හැටියට, භාතිකාභය තිස්ස යනු බොහෝ විදේශ සම්බන්ධකම් තිබුණු රජ කෙනෙකි. ඒ බව සිහිපත් කරන්නට මෙන් ‘කානේලියන් පබළු’ ආදී විදේශීය ආභරණ කොටස් ද නීලගිරි සෑය පුරාවිද්‍යා කැණීමෙන් හමුවී තිබේ. නීලගිරි සෑය, ඇත්තටම මහානාග රජුගේ නිමැවු ද?, නැතිනම්, භාතිකාභය තිස්ස රජුගේ නිමැවුමක් ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි.


වල්බිහිව ගිය වන උයනක් බඳු පරිසරයක් මැද, තැනින් තැන ගරා වැටුණු දැවැන්ත දාගැබක පෞරාණික රූපකායක් ඉදිරියෙහි නැගී සිටිනු පෙනුණි. සෑයෙහි ඉහළ කොටසේ රූස්ස ගස් වැවී තිබුණේ ය. ඈත සිට බලන විට, නීලගිරිය කොතරම් විශාල දාගැබක් ද යන්න පැහැදිලිව පෙනුණි. නීලගිරි සෑයෙහි දර්ශනය ඕනෑම කෙනෙකුට එක්වරම සිහිපත් කරන්නේ අනුරාධපුරය යි. එහි ඇති ජේතවනය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා දාගැබ්වල නිරාමිස, එහෙත් දැවැන්ත රූපකාය යි.
………………………………………………………………………………………………………….


වර්ථමාන නීලගිරි මහා ථූපය


ගෞතම බුදුරජුන් ජීවමානව වැඩ සිටි සමයේ ද බුදුන් උදෙසා ලංකාවේ දාගැබ් ඉදිවී තිබේ. ත්‍රිකුණාමලයේ හිරිගඩු සෑය හා මහියංගණ මහා සෑය ඒ අතර වේ.


ඉපැරැණි රුහුණු මාගම් රාජධානි සමයේ ලක්වැසියන්ගේ ගෞරව බහුමානයට ලක්වූ නීලගිරි චෛත්‍ය කැණීමේදී ධාතූන් වහන්සේ අතිවිශාල ප්‍රමාණයක් හමුවී ඇත. ඒ අතර කරඬු දෙකක සුවිශේෂී ලෙස තැන්පත් කරන ලද ධාතූන් වහන්සේ කිහිප නමක් හමු වී තිබේ. එම ධාතූන් වහන්සේ ශ්‍රී ගෞතම සර්වඥයන් වහන්සේගේ යැයි අනුමාන කරනු ලබයි. පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව එම ධාතු රටපුරා ප්‍රදර්ශනය කරනු ලැබීය.


මෙසේ හමුවූ ධාතූන් වහන්සේ සත්‍ය වශයෙන්ම ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේ යැයි ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය. එහෙත් එම ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ සුවිශේෂී ස්වභාවය අනුව එම ධාතූන් සර්වඥයන් වහන්සේගේ යැයි සාධාරණ සැකයක් මතුවී තිබෙන බව හෙතෙම ප්‍රකාශ කරයි. එහෙත් නීලගිරි චෛත්‍ය කැණීමේදී හමුවූ අනෙක් ධාතූන් වහන්සේ පිළිබඳ එවන් අදහසක් ඉදිරිපත් කළ නොහැකි බව ද දිසානායක මහතා පවසයි.


සර්වඥයන් වහන්සේගේ යැයි සැලැකෙන ධාතූන් වහන්සේ ගල් කරඬුවක් තුළ බහාලන ලද මැටි කරඬුවක් තුළ වූ රන් කරඬුවක තැන්පත් කර තිබිණි. ධාතූන් වහන්සේ රන් කරඬුව තුළ වූ සුරයක් වැනි කුඩා මංජුසාවක වැඩ සිටියහ.


නීලගිරියෙන් හමු වූ සුවිශේෂී කරඬු දෙකින් එකක් පතුලේ නෙළුම් මල කැටයම් කර තිබු අතර අනෙක් ධාතූන් වහන්සේ තැන්පත් කර තිබු කුඩා මංජුසාවේ ශ්‍රීපාදය සටහන් කොට තිබිණ.
මේ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ආකාරය දෙස බලද්දී එවන් ධාතු තැන්පත් කිරීමක් මෙතෙක් හමුවී නැත. නෙළුම් මල සහ ශ්‍රී පතුල බුදුන් වහන්සේ බව හැඟවීමට භාවිත කරනු ලබන සංකේතයන්ය. ඉපැරැණි කලා හෝ පුරාණ සම්ප්‍රදාය අනුව බුදුන් හැර වෙනත් කිසිවකු උදෙසා ශ්‍රී පතුල හා නෙළුම් මල භාවිත කිරීමක් සිදුව නැත. එහෙයින් මේ ධාතූන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ ය යන්න පිළිබඳ මතයක් ඉදිරිපත් වේ. එහෙත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේදී එවන් නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීම සිදු නොවේ.


ජනප්‍රවාදයට අනුව ක්‍රි. පූර්ව 240 දී රජකළ සූරතිස්ස රජු විසින් නීලගිරි සෑය ඉදිකොට ඇතැයි සැලැකේ. නීලගිරි සෑයේ ගඩොල ශාස්ත්‍රවෙල වෙහෙරෙහි ගඩොල හා සමාන වේ. ලාහුගල වනෝද්‍යානයේ හැඩඔයෙන් එපිට ඇති නීලගිරි චෛත්‍ය 1927 – 28 වර්ෂයේදී හෝර්කාට් මහතා විසින් ප්‍රතිසංස්කරණය කිරීමට පෙර අතීත රජ දරුවන් අතින් තෙවරක් ප්‍රතිසංස්කරණය වී තිබේ. ගරාවැටුණු කොත සහිත මේ චෛත්‍ය කැණීම් කටයුතු 2011 වසරේදී ආරම්භ විය. සර්වඥයන් වහඅන්සේගේ ධාතූන් යැයි සැලැකෙන කරඬු හමුවී ඇත්තේ චෛත්‍යයේ ගරාවැටුණු කොටසේ තිබීය. එම කරඬු හමු වූ සන්ධර්භය චෛත්‍යයේ පැරැණිම අවධිය සේ සැලැකේ. අතීතයේ ලේඛන සම්ප්‍රදාය බහුල නොවූයෙන් මෙම කරඬු තුළ හෝ ආශ්‍රයේ මෙතෙක් අක්ෂර සටහන් හමුවී නොමැත. එහෙත් ‘පහණ’ යන්න සටහන් සෙල්ලිපියක් පමණක් හමුවූ බව සෙනරත් දිසානායක මහතා පවසයි.


ක්‍රි. පූ. 2 වැනි සියවසේ දී කාවන්තිස්ස රාජධානී සමයේ විශාල ජනාවාසයක් වූ නීලගිරිය අවට ආරාම සංකීර්ණ රැසක් පිහිටා තිබේ. රජගල ශාස්ත්‍රවෙල ඒ අතර ප්‍රමුඛය. නීලගිරි වනයේ සැඟව ගිය භූමියේ නටබුන්ව පවත්නා වැව් පද්ධතිය එම ජනාවාසයේ විසූ ජනයාගේ ජල පහසුව සපයන්නට ඇත. නීලගිරි හෙලෙහි ලෙන් පද්ධතිය බ්‍රාහ්මිය අක්ෂර සහිත ලිපිවලින් ද ඓතිහාසික මානවයාගේ සිතුවම්වලින් ද සමන්විත වේ.


නීලගිරි ස්ථූපයට සතර දිසාවෙන් ම ආරාම සංකීර්ණයේ පිටත ප්‍රාකාරය ලෙස සැලැකෙන සාධක හමුවී ඇත. අතීතයේ ‘මහා විහාරය’ ලෙස නීලගිරිය හඳුන්වා ඇති බව ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.


භාතිකාභය තිස්ස රජ සමයට අයත් සෙල්ලිපියක් නීලගිරි චෛත්‍ය අවට තිබී හමු වී ඇත. උත්තර සීවලී පබ්බත විහාරයට චුල සීවලී දේවිය විසින් කරන ලද ප්‍රදානයක් පිළිබඳ තොරතුරු එහි සටහන් වේ. උසින් අඩි 72 ක් පමණ යැයි අනුමාන කෙරෙන අඩි 628 ක් පමණ වූ වට ප්‍රමාණයකින් යුත් නීලගිරි චෛත්‍ය සංරක්ෂණ කටයුතු නුදුරේදී ඇරැඹීමට නියමිතය. සංරක්ෂණයෙන් පසු එහි වූ ධාතූන් වහන්සේ එහිම තැන්පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
නීලගිරි චෛත්‍යයෙන් හමුවූ ද්‍රව්‍ය මේ වන විට විශ්ලේෂණය කරමින් සිටියත් චෛත්‍යයේ කාල නිර්ණය කිරීමක් මෙතෙක් සිදුවී නොමැත.


නීලගිරිය ආසන්නයේ රජගල විහාර සංකීර්ණයේ මිහිඳු හිමියන්ගේ ධාතුන් තැන්පත් කළ බවට ද සෙල්ලිපියක් හමු වී ඇත. එහෙත් නීලගිරියෙන් එවන් සටහනක් හමු නොවීම හා කාල නිර්ණය මඟින් විද්‍යාත්මක තහවුරු කිරීමක් නොකළ බැවින් සුවිශේෂි කරඬු තුළ බහාලන ලද ධාතුන් වහන්සේ සර්වඥයන් වහන්සේගේම යැයි ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැලි වේ.
නීලගිරි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ලාහුගල පුරාවිද්‍යා රක්ෂිතයේදී ශ්‍රී ගෞතම සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේ සිත් සේ වන්දනා කරගැනීමට ඔබට හැකි වනු ඇත.


උපුටා ගැනීම රාජධානි පිටුවෙන්

සිරිපාද ලොජික්


1.  බෙංගමුවෙ දම්මදින්න ලොජික් – මළුවට අවුලක් නෑ බොලව්..  මළුව විතරයි සිරිපාදය..
= ඔබවහන්සේ මළුව තියාගන්න.. කැලේ අපි බලාගන්නන්. හැබැයි නොදන්න මඟුල් කියවලා මිනිස්සු නොමඟ යවන්න එපා. සිරිපාදෙ සුද්ද කරන්න ලැබෙන මුදල් පවා අතුරුදහන් වන විට ඔබවහන්සේගෙ කතාවල ගතයුත්ත ඇත්තෙ කොතනද කියන එක ප්‍රශ්නාර්ථයක්.
2. පුද්ගලික දේපල ලොජික් – මරේ වතුයාය යනු පුද්ගලික ඉඩමකි. පුද්ගලික ඉඩමක ඕන තොයිලයක් අයිතිකරුට නැටිය හැකිය එමනිසා අදාල නැත
= නෑනෙ එහෙම ඕන ඕන දේවල් කරන්න බෑනෙ. පුද්ගලික ඉඩම් වුනාට යම් ප්‍රදේශයකට විශේෂිත කරුණු මත යමක් සිදුකිරීම සීමා කරල තියෙනවා නම් ඒ සීමා කිරීමට අයිතිකරු බැඳිලා ඉන්නවා. ඒක ඔබ මේ රටේ උපදින විට රාජ්‍ය නැමැති සංකල්පයට බැඳෙන නිසා ඔබට පැවරෙන සාමුහික වගකීමක්.
උදාහරණ – 1. කොළඹ නගර සීමාව තුල ඉදිකිරීම් වලට පනවා ඇති සීමා.
2. ගාල්ල කොටු පවුර තුල ඉදිකිරීම් සිදුකිරීම සීමා කිරීමට පුරාවිද්‍යා දේපාර්තුමේන්තුවෙන් පනවා ඇති සීමා.. etc etc
ආන්න ඒවගෙ සිරිපාද රක්ශිතය අවටත් ඔබලා නොදන්නවා වුනාට ( නොදන්නව වගෙ රඟපානවද මන්දා ) සීමා තිබෙනවා.
3. කණ්ඩලම ලොජික් – කණ්ඩලම හදද්දිත් පරිසරවේදියො කියාගන්න එවුන් කෑගැහුවා, ඒත් දැන් බලහන්කො ඒකේ ලස්සන.. අන්න ඒ වගෙ තමයි මේකත්
= පොඩි කාලේ අම්මල තාත්තල උගන්නලා ඇතිනෙ වීදුරු බඩුවක් බිම දැම්මම මොකද වෙන්නෙ කියලා.. ” ආයෙ හදන්න බෑ පුතේ”… ආන් ඒකෙ සංකිර්ණ අවස්ථා සම්බන්දය තමයි පරිසරය. සංරක්ෂණ මූලධර්ම වල හැඳින්වෙන්නේ irreversible and irreparable damage කියලා. සරල සිංහලෙන් කිව්වොත් නැවත ආපසු හැරවිය නොහැකි, ප්‍රකෘති කල නොහැකි හානිය. එකම අවුල තියෙන්නෙ වීදුරු බඩුවක් අල්ලන පර‍ෙස්සම උඹල ජීවත් වෙන හුස්ම ගන්න පරිසරය ගැන උගන්නලා නොතිබීම.. ඒ ගැන හැඟීමක් නොතිබීම.. ආන්න ඒ උඹලට නැති කැසිල්ල පරිසරයට ආදරය කරන මනුස්සයෙක්ට තියෙනවනන් උපකල්පන මත සීමා වෙලා “ඒක ශෝක් නිසා මේකත් ශෝක් වෙයි” වගෙ කතා කියන්නෙ නැත.
4. සර්ව ශුභවාදි ලොජික් – ඕවා ඔහොම තමයි.. අනෙක් ජීවින් කෙසෙ වෙතත් මිනිස්සු රැකිලා ඉන්න ඕන.. ඒ නිසා ඕවා වෙනවා, පරිරයට හානි වෙනවා.. ඒවා සංවර්ධනය එක්ක කොහොමත් එන අතුරුඵල
= නෑනේ බ්‍රෝ.. මිනිස්සු සංවර්ධනය වෙන්න ඕන , හැබැයි වැස්සට හුස්ම පොදට කෙල කරගෙන යන සංවර්ධනය මොකද්ද ? මේ පොලොවට වැස්සක් වැටෙනවනන් ඒ සිරිපාද කඳු පන්තිය, දුම්බර කඳු පන්තිය හා සිංහරාජය නිසයි. එකා එකා ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගෙ “තව රක්ශිත තියෙනවනෙ බොල, ඉතින් මොකද මේ ඉඩම සංවර්ධනය කලාට” වැනි ආත්මාර්ථකාමී මතයක සිටින විට නැවතීමෙ තිත කොතනද ?
5. දේශපාලනික ලොජික් – බැසිල්ද වික්කෙ ? නෑ ඕයි ෆයිසර්. නෑ ෆයිසර් වෙන්න බෑ මේක මෛත්‍රී..! රනිලයා තමයි ගේම දෙන්නැත්තෙ.. නෑ වෙන්න බෑ මේක බැසිල්ගෙ තමා.
= කාගෙ වුනාම අපිට පාන්ද ? දැන් ඇත්තටම ගැටළුව කවුද කරේ කියන එකද එහෙම නැත්තන් කොහොමද මේක නවත්වන්නෙ කියන එකද ?
පරිසරවේදී Don Supzගෙ සටහනකි..(ගිහාන් ගාල්ලගේ ගෙ වෝල් එකෙන් )

ඡප්පාණක සූත්‍රය


asammathaya

“මහණෙනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරමි”

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සත්තු හය දෙනෙක් ගැන. නරියා, බල්ලා, කිඹුලා, කපුටා, නයා, වඳුරා වශයෙන්. ලණු කෑලි හයක් අරගෙන ඒ සත්තු හයදෙනාගේ නැටි හයේ බඳිනවා. ඒ කියන්නේ නරියෙක්ගේ වලිගයේ ලණු කෑල්ලක් බඳිනවා. බල්ලෙක්ගේ වලිගයෙත් ලණු කෑල්ලක් පටලවනවා. කිඹුලෙක්ගේ නැට්ටෙත් ලණු කෑල්ලක් පටලවනවා. කපුටෙක්ගේ නැට්ටෙත් ලණුවක් පටලවනවා. නයාගේ වලිගයෙත් ලණුවක් පටලවනවා. වඳුරාගේ වලිගයෙත් ලණුවක් පටලවනවා. මේ සත්තු හයදෙනාගේ නැටි හයේ ලණු කෑලි හයක් බැඳලා ලණු කෑලි හයම එකට එකතු කරලා ගැටයක් ගහලා අතහරිනවා.

නානා ගති, නානා අදහස් ඇති සත්තු හය දෙනෙක් නිසා මේ හය දෙනා හය පැත්තට අදිනවා නේ. අදින කොට ලොකු කැලඹීමක් හටගන්නවා. අපි කියමු නරියා අදිනවා සොහොනට යන්න. බල්ලා අදිනවා ගමට යන්න. කිඹුලා අදිනවා වතුරට යන්න. කපුටා හදනවා අහසට පියාඹන්න. නයා හදනවා තුඹසට යන්න. වඳුරා හදනවා ගහට යන්න. මේ වාගේ එහාට-මෙහාට අදිනවා. ඔහොම අදිමින් ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනික් ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තටම යනවා. ඇයි? දැන් ඔක්කෝගෙම නැටි ටික බැඳලා ඉතුරු කෙළවරවල් ටික එකට ගැටගහලා නේ තියෙන්නේ.

ඒ වාගේ, බුදු රජාණන් වහන්සේ මේක උපමා කරනවා සතිපට්ඨානය නොවඩන ලෝකයාගේ මනසට. නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනා වගේ තමයි ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. එතකොට දැන් ඒවා ඔක්කොම නැටි ටික එකට ගැටගහලා වගේ, අපි මේ ආයතන ටික එකට ගැටගහලා තියෙන්නේ. පේන දේ අහන්න පුළුවන්; ඇහෙන දේ පේනවා; පේන දේ ගඳ-සුවඳ බලන්න පුළුවන්; ගඳ-සුවඳ දැනෙන එකයි මේ පේන්නේ කියලා දැන් අපි මේ ආයතන ටික ඔක්කෝම එකට ගැටගහලායි තියෙන්නේ. දැන් ඇහැ අදිනවා රූප බලන්න: කන අදිනවා සද්ද අහන්න; නාසය අදිනවා ගඳ-සුවඳ බලන්න; දැන් එහාට මෙහාට ලොකු කැලඹීමක්. මේ විදියට හිත-හිතා ඉන්නවා කියන්නේ ඔය සත්තු ටිකේ ඇදීමටයි. ඉතින් එකෙක් බලවත් වුණහම ඔක්කෝම ටික ඇදගෙන යනවා. ලස්සන රූප බලනවා කියන්නේ ඔන්න දැන් එක සතෙක් බලවත්. අනික් එවුන් ඔක්කෝම මතක නැහැ; ඔක්කෝම ටික ඇදගෙන එක සතෙක් යනවා වගේ. දැන් ඉතින් රූප බලනවා. අනිත් ඔක්කොම ටික ඒ අනුව පවතිනවා.

ඔන්න එතැනින් නැගිටින කොටම දැන් ලස්සන සින්දුවක් යනවා කියන්නකෝ. දැන් ඒක අහනවා. ඒ කියන්නේ දැන් ඔක්කෝම සත්තු ටික ඇදගෙන අනික් සතා යනවා. ඔන්න ඔය වගේ පෙන්නුවා ලෝකයාගේ මනස.

දෙවනුවට ආයෙත් උපමාවක් පෙන්නුවා. ඒ වගේ නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනෙක් ඉන්නවා. මේ සත්තු හයදෙනාව අර වගේ අරගෙන නැටි හයේ ලණු කෑලි හයක් බඳිනවා. බැඳලා ඉතුරු කෙළවරවල් ටික ඔක්කෝම අරගෙන කණුවක හරි, ටැඹක හරි බඳිනවා. දැන් බැන්දහම වෙනදා පුරුද්දට අර සත්තු එහාට-මෙහාට අදිනවා. හොඳට බලන්න. කණුවේ බැන්දා කියලා, බැඳපු ගමන්ම හීලෑ වෙනව ද? නෑ. එහාට අදිනවා. මෙහාට අදිනවා. හැබැයි වෙනදා වගේ ඇදගෙන යන්න බැහැ. ඔහොම ඇදල, ඇදලා ඒ අයට ම එපා වෙලා, කණුව මුල ම වැතිරිලා ඉන්න දවසක් එනවා.

මේ ටික දේශනා කරලා, බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. ‘මහණෙනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි’ කියලා.

“ඡප්පාණක සූත්‍රය”

(ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ දේශනාවක් ඇසුරෙනි)

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ..


දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:

01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.

03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.

04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.

05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.

06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේතමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.

07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.

08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.

09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.

10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.

11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.

12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.

සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.

සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.

සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.