Embark සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්න


එම්බාර්ක් ටීශර්ට් බල්ලන් ගැන පමණක් නොවී 
කුකුළන් ගැනත් තිබුණානන් හොඳය. 

ඌරන් ගැනත් තිබුණානන් හොඳය. 

හරකුන් ගැනත් තිබුණානන් හොඳය.

මාලුන් මෙන්ම කරෝල වෙන හාල්මැස්සන් ගැන පවා තිබුණානන් හොඳය. 
නමුත් ඒ මොකුත් නැත. 
තිබුණානන් හොඳය. 
නමුත් නැත. 
ඒ බල්ලන් අලියන් මාකට් කළ හැකි මුත් මරන්න 

ගෙනියන කුකුළා, හරකා, ඌරා බේරාගෙන ගෙදර ගෙනියෑම ට්‍රෙන්ඩ්ගත කර කීයක් හරි හොයාගත නොහැකි නිසාවෙන් විය යුතුය. 
අපිට දෙමාපියන් කියාදී ඇත්තේ දළදා වහන්සේ වඩම්මන හස්ති රාජයා මිනිස් ආත්මයකටත් වඩා පින් කළ අයෙක් කියාය. 

එහෙවු භක්තියකින් අපි ඒ ඇත් රජුට සලකන්නෙමු. 

දළදා වැඩ හිඳිනා පින්බිමේම පසෙක ඇති අවසානයට ඒ පින ලැබූ ඇත් රජිඳුගේ ජීවමාන අනුරුවට දොහොත් මුදුන් දී වඳිනා අය ඔටාරාගේ ඇස් ගැටී නැතුවා විය යුතුය. 
මම යළිත් කියමි. 
සමාවන්න.
දළදා වහන්සේ කැන්ටර් මත වඩම්මන්නට බැරිය. 
බටහිරකරණය වීමට ඕනෑ තරම් විදි ඇත. 

එයට සංස්කෘතිය විකුණන් කෑ යුතු නැත. 
මම මේ අකුරු ලියන්නේ එහෙවු සංස්කෘතියක් නැති රටක සිටය. 

මුන් නැති සංස්කෘතියක් හදාගන්නට දත කද්දී අපේ උන් බලන්නේ නොමිළේ ලැබුනු සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්නට ය.
එම්බාර්ක් ගැන මට විරෝධයක් නැත. 

මොකෙක් හෝ අසරණ සතෙක්ගේ ජීවිතය හොඳ වෙනවානම් මමත් ඒ ගැන බොහෝ සතුටු වෙමි. 
කුකුළන්, ඌරන්, හරකුන්, හාල්මැස්සන් අමතක සමාජෙක දළදා වඩම්මන ඇත් රජාණන් දෙස මවාගත් මහා සත්ත්ව කරුණාවකින් බැලීම පමණක් නුසුදුසුයැයි සිතමි. 
ආදරණීය ඔටාරා, 

ඔබ හෝ ඔබේ ව්‍යාපාරය ගැන පෞද්ගලික තරහක් මට නැත. 

නමුත් ඔබේ සත්ත්ව කරුණාව බල්ලන්ට හෝ අලියන්ට පමණක් සීමා වීම මට ප්‍රශ්නයකි.
ලක්ශ ගණන් මස් කඩයෙන් අවසන් වන ජීවිතවලට අභය දී ඔබේ ගමන අරඹමු. 
මෙතෙක් කල් දළදා වහන්සේ මහත් තේජසින් වැඩමවූ රාජාම ඒ පින්මහිමය තව කලක් එකතු කරගනු ඇත. 
අපි ඒ ගැන 

කුකුළන්, ඌරන්, හරකුන්, මත්ස්‍යයින් යනාදී සමූල ඝාතනය වන සතුනුත් ‘එම්බාර්ක්’ වූ දාට කතා කරමු. 
එතෙක්, සම්ප්‍රදාය වෙනස් කරන්නට ගොස් හිර නොවෙමු. 
ජය! ❤️ 

 

-දෙමින්ත ජයසිංහ. – 

#අකාලේඛන

තෙල් ටැංකි කථාව ගැන


තෙල් ටැංකි කථාව ගැන බොහෝ අය දෙන විචාර එක්කෝ අතිශය සිල්ලර, සරල මට්ටමට යනවා…..නැත්තන් ආර්ථික සංරචක වටේ පමණක් කරකැවෙනවා…..නමුත් මෙවැනි දේ පිටුපස ඇති භූ දේශපාලනික සාධක සහ ඒ මත ගොඩ නැගෙන සහ ගොඩ නැගිය යුතු අවබෝධතාවයන්, ගිවිසුම් හෝ එකඟතාවයන් ගැන බොහෝ දෙනා සිහි කරන්නෙ නෑ……මෙහිදී තෙල් ටැංකි කියන්නෙ හුදු ” සම්පතක්, නිෂ්පාදන වස්තුවක්, ආර්ථික විෂය වස්තුවක්” කියන තැනට ලඝු කරන්නෙ නැතුව ” ඉන්දියාව” කියන සාධකය දෙසත්, එනයින් සමස්ථය දෙසත් බැලිය යුතු වෙනවා…..
ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ පාඨමාල වල කේන්ද්‍රගත මාතෘකාවක් තමයි ” බළ තුලනය” ( Balance of Power ) …. බළ තුලනය කියන එක ව්‍යාප්තවාදී අරමුණු සහිත, අධිපතිවාදී චින්තනයන් සහිත බලවේග දෙකක් හෝ කිහිපයක් පවතින ඕනැම කළාපයක ආර්ථික, සාමාජීය, හමුදාමය සහ දේශපාලනික යන හැම අංශයකින්ම පිහිටුවීම සඳහා ඒ ඒ බලවේග විශාල පරිශ්‍රමයක් දරන ප්‍රපංචයක්….. බොහෝ විට බළ තුලනය කියන්නෙ බළ අරගලයක නිරත වී සිටින බලවේග එන තාවකාළික ස්ථාවර ලක්ෂ්‍යයක්……අර මිළ න්‍යායේදී ඉල්ලුම සහ සැපයුම අතර සමතුලිතතාවයක් එන්නා වගේ….
මෙහිදී ඉන්දියාව ඔවුන්ගේ නිදහසින් පසුව ප්‍රධාන වශයෙන් බළයේ තුළනාත්මක සාධක සමග ක්‍රීඩා කරමින් ඒ වගේ අරගලයක නිරත වී තිබෙන්නේ පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමග….මේ හේතුව නිසා කළාපීයව පවතින අනෙකුත් රටවල ” ප්‍රතියුක්ත සටන්” ( Proxy Wars ) දියත් කරන්නත් ( උදා: නේපාලය, ශ්‍රී ලංකාව ) , වෙනත් අලුත්ම රාජ්‍යයන් බිහි කරන්නත් ( උදා: බංග්ලාදේශය ) , දේශපාලනික සංසිද්ධි වලදී පස මිතුරාගේ පස මිත්‍රාට උදව් කරන්නත් ( උදා: තිබ්බතයේ දලයි ලාමාට සහ පංචන් ලාමා වරුන්ට ඉන්දියාව දේශපාලන රැකවරණ ලබා දීම ) ඉන්දියාවට සිදුවුනා….. ඒ වගේම ආර්ථික යුද්ද දියත් කරන්නත්, දේශපාලනික බලහත්කාරය භාවිතා කොට බිය වැද්දීමට හෝ ප්‍රයෝග භාවිතයෙන් අස්ථාවර කිරීමටත් සිදුවුනා…..මේවාත් ජාත්‍යන්තර දේශපාලනයේ විෂය මූලික කරුණු…..
ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දියාවට, ඉන්දීය සාගර කළාපයේ නාවික ආධිපත්‍යය සහ ආර්ථික ආධිපත්‍යය අතින් අතිශය වැදගත් මර්මස්ථානයක්…..1977 – 1994 කාළ වකවානුව තුළ සෝවියට් හිතවාදී ( එහෙත් නමට නොබැඳි ) ප්‍රතිපත්තියක් අනුගමනය කරපු ඉන්දියාවට, ශ්‍රී ලංකාව සමග අවුලක් ඇතිවුනේ එදා ඉන්දියාවට ප්‍රතිවාදියෙකු ලෙස පෙනුනු ඇමරිකා එක්සත් ජනපදය ( විශේෂයෙන්ම රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ) සහ ශ්‍රී ලංකාව අතර ජේ.ආර් ජයවර්ධන රජය ඇති කරන්න ගිය ඉතා උණුසුම් බැඳීම ඉන්දියන් සාගර කළාපයේ ඉන්දීය ආධිපත්‍යයට අවුලක් ලෙස පෙනීම නිසා…..එදා ඇමරිකානු ආර්ථික ශක්තිය සහ නාවික බලය ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගරයට ව්‍යාප්ත වෙයිද කියලා විශාල ප්‍රශ්ණයක් ඉන්දියාවට තිබුණා……..
මෙම ප්‍රස්තුතය සම්බන්ධයෙන් ඉන්දියාව අද අභියෝගයක් ලෙස දකින්නෙ මහජන චීන සමූහාණ්ඩුව සතු ආර්ථික ශක්තිය සහ නාවුක බලය ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගර කළාපයේ ආධිපත්‍යයක් ගොඩ නැගීම……පසුගිය කාළයේ ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණි චීන න්‍යෂ්ඨික සබ්මැරීන වලට ඉන්දියාව සෘජුව විරෝධය පෑවා…..ඕනෑම බලවතෙක් කැමති නෑ තමන්ට මෙල්ල කරගන්න අසීරු වඩා විශාල බලයක් තමන්ගේ දොරකඩට ඇවිත් පැළපදියම් වෙලා එතනින් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවට……
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආධිපත්‍යයක් ඇතිවේය බියෙන් කාළයක් ඉන්දියාව කටයුතු කලා වගේම, දැන් චීනය විසින් සෘජුව මැදිහත්ව ශ්‍රී ලංකාව චීන කොළණියක් බවට පත් කරාවි කියන බිය නිසා ඉන්දියාව විවිධ උපක්‍රම භාවිතා කරනවා……චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සබඳතාවයේ ආර්ථික සහ උපක්‍රමික ස්වරූපය එන්න එන්නම සංකීර්ණ වෙනකොට ( උදා: හම්බන්තොට වරාය, පෝට් සිටි, මිසයිල සබ්මැරීන ) ඉන්දියන් සාගර කළාපයේ නාවික සහ දේශපාලනික බලය තුලනය කරගන්න හෝ තහවුරු කරගන්න ඉන්දියාවටත් එකී බලපෑමේ ආකාස්මික සාධකයට යම් බලහත්කාරයක් යොදන්න සිදුවෙනවා….
මේවා තමයි දේශපාලන නියාම ධර්ම…..මේවා ලෝකයේ ඕනෑම කළාපයක දකිනන් පුලුවන්…. නමුත් මේ සිද්ධියෙදිත්, නැගෙනහිර යුරෝපයේ නේටෝ බලපෑම හමුවේ රුසියාව හැසිරෙන විදියෙදිත් අපිට පොදුවේ දකින්න තියෙන දෙයක් තමයි මහ බලවත් රාජ්‍යයක්, තවත් බලවත් රාජ්‍යයක යම් කළාපයක ඇති ව්‍යාප්ත වාදී අරමුණු මුදුන් පත්වීම වැලැක්වීමට, එකී බලවත් රාජ්‍යය විසින් ” සැටලයිට් ස්ටේට්” ( Satellite State ) එකක් ලෙස ඉලක්ක කරගෙන සමීප වෙමින් සිටින රටවල් – 
– එක්කෝ දේශපාලනිකව අස්ථාවර කර සිවිල් යුද ගැටුම් ඇති කිරීම ( උදා: ශ්‍රී ලංකාවේ බෙදුම් වාදී ව්‍යාපාර වල පූර්ව එල්ටීටීඊ අවදිය ) 

 – නැත්නම් එකී කුඩා රාජ්‍යවල තමන්ට හිතවාදී පිරිස් සිටින කොටස් කඩා ඉවත් කර, ඒවා වෙනම රාජ්‍ය බවට පත් කිරීම හෝ සෘජුව තමන් යටතට ගැනීම ( උදා: යුක්‍රේන සිවිල් යුද්දය, ක්‍රිමියාව කඩා ගැනීම, ජෝජියාවෙන් ඔසේෂියාව උදුරා ගැනීම ) 
වැනි දේ කරනවා…. මේ තත්වය වඩා දරුණුවට පේන්නෙ අර කියන බල අරගලය දියත් වෙන්නෙ එක් මහ බලවත් පාර්ශවයක මුව දොරකඩ හෝ ගෙවත්තේ වන අවස්ථාවල…. ( රුසියාවට, යුක්‍රේනය සහ ජෝජියාව මෙන් ඉන්දියාවට ශ්‍රී ලංකාව සහ නේපාලය )
මෙහිදී අර කුඩා රාජ්‍ය වලට විශාල දේශපාලනික අර්බුදයන්ට, දේශපාලනික ගැට නිසා ඇතිවන දීර්ඝ කාළීන සිවිල් යුද තත්වයන් සහිත දරුණු ලේ වැගිරීම් වලට නොයා ඉන්න නම්, අදාළ බල තුලනයේ අරගලයේ යෙදී ඉන්න මහබලවත් පාර්ශව දෙකම ඉතාම ප්‍රඥාවන්ත විදියට දෙපසටම යම් යම් දේ ප්‍රදානය කරමින් තුලනය කරගෙන, මිතුරුව තබාගන්න වෙනවා…..එහිදී බොහෝ විට ඒ කුඩා රටවල් කරන දේ තමයි 
– භුමිය හෝ සම්පත් පරිත්‍යාග කිරීම හෝ ඒවායේ කළමණාකරණය පරිත්‍යාග කිරීම

 – ” Offshore bases ” හෙවත් රාජ්‍යයෙන් පරිබාහිර හමුදා කඳවුරු පිහිටුවීමට අදාළ බලවතුන්ට සිය භූමිය යොදා ගන්න අවසර ලබා දීම 

 – අදාළ බලවත් රාජ්‍යයන් දෙක හෝ කිහිපයම ආර්ථික වශයෙන් උපක්‍රමිකව තමන්ට බැඳගෙන, ඒ රට මත ඒ බලවතුන්ට විශාල ආර්ථික “ස්ටේක් එකක්” නිර්මාණය කිරීම… එවිට ඔවුන් ඒ කුඩා රට අස්ථාවර කරන්න පෙළඹෙන්නෙ නෑ….
ඉහත සඳහන් සියල්ල බල අරගලයන් තුලනය කරන ක්‍රම… ( Balancing acts ) 
– මේ හැර තව ක්‍රමයකුත් තියෙනවා….. ඒ ක්‍රමය තමයි තමා කුඩා රාජ්‍යයක් නම්, තම රාජ්‍යය වටකොට ඒ වගේ මහ බලවතුන්ගේ බල අරගලයක් ක්‍රියාත්මක නම්, එයින් එක් බලවතෙක් සමග පූර්ණව සතුරු වෙලා, අනෙක් බලවතාගේ සම්පූර්ණ Allied State එකක් බවට පත්වෙන එක…..ඒකට උදාහරණ තමයි : ඊශ්‍රායලය, තායිවානය කියන රටවල්…..එහිදී ඒ එක බලවතෙක් තම මිත්‍ර පාක්ෂිකයෙකු ලෙස පැමිණ සිටින අර කුඩා රාජ්‍යය ස්වකීය මුළු ශක්තියම යොදා රකිනු ලබන අතර, ආර්ථික වශයෙන්ද විශාල සත්කාර කරනවා……කොටිම්ම කිව්වොත් 1973 වසරේදී ඊශ්‍රායලය ” යොම් කිප්පූර්” දින ආක්‍රමණයට මුහුණ දුන් අවස්ථාවෙදි, ඇමරිකාව වියට්නාමයේ සිටින සිය හමුදාවන්ට අවි යැවීමට තිබුණු ගුවන් යානා ආපසු හරවලා, වියට්නාමයට යවන්න තිබුණු අවි තොග ඊශ්‍රායලට ටොන් ගණනින් යවලා, ඊශ්‍රායලය ආරක්ෂා කර ගත්තා…….මහජන චීන සමූහාණ්ඩුවේ ” එක් චීනයක්” ප්‍රතිපත්තියට එරෙහිව කුවෝමින්ටැං රජය ෆොමෝසා හෙවත් තායිවාන දූපතේ ස්ථාපිත කරලා, අද වනතුරු ඔවුන්ට රැකවරණය, ආයුද සහ ආර්ථික ශක්තිය දීලා රැක බලාගන්නෙ ඇමරිකාව…..නමුත් මේ ක්‍රමය ශ්‍රී ලංකාව අනුගමනය කලේ නෑ, මොකද ශ්‍රී ලංකාවේ ඊනියා නොබැඳි ප්‍රතිපත්තිය නිසා……එහෙම ආරක්ෂා කරන්නේ ඔවුන්ට තියෙන ආදරය නිසා නෙමෙයි, ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලනික උපාය මාර්ගික වටිනාකම නිසා…..ඒකත් එක ක්‍රමයක් තමයි…..
දැන් ශ්‍රී ලංකාවට කරන්න සිදුවෙලා තියෙන්නෙ ඒක….එතනදි භූමිය පරිත්‍යාග කිරීම හෝ සම්පත් කළමණාකරණය හෝ ව්‍යාපාරකරණය සඳහා අවස්ථා කළමණාකරනය පරිත්‍යාග කිරීමෙන් චීනයේ මෙරට බලපෑමට එරෙහිව නැගෙන ඉන්දියන් විරෝධය සමනය කරලා, ඔවුන්ට චීනය නිරීක්ෂණය කරන්න සහ චීන ව්‍යාප්තියට එරෙහිව උපක්‍රමිකව වාසි සහගත ලෙස ස්ථානගත වීමට අවස්ථාව ලබා දීලා ඔවුන්වත් බැලන්ස් කරගෙන, ඔවුන්ගේ විරෝධයෙන් අපට සිදුවිය හැකි හානිය නැති කරගන්න චීනයට හම්බන්තොට, පෝට් සිටි එහෙම දෙන්නා සේ, ඉන්දියාවටත් ත්‍රිමලයේ තෙල් ටැංකි සඳහා සහයෝගීතා ගණුදෙණු ප්‍රදානය කරන්න සිදුවෙනවා….
මේ සන්දර්භය තේරුම් ගත යුතුයි…..යථාර්තය වන්නේ අප චීනයට සමීප වනවිට, ඉන්දියාව ස්වකීය එළිපත්තේ චීනය වාසිදායක ලෙස ස්ථාන ගත වීමට එරෙහිව යම් බලයක් යෙදුවොත් එය කෙසේ හෝ සමනය කරනවා ඇරෙන්න එයට එරෙහිව චණ්ඩි කමින් පිළිතුරු දෙන්නට අපට හැකියාවක් නැති බවයි…….
තෙල් ටැංකි කියන්නෙ එවැනි ඉන්දු – චීන තුලනයක උපාය මාර්ගික පියවරක්…..
ස්ටැන්ලි කුබ්‍රික් කියන සුප්‍රකට ඇමරිකානු ජාතික සිනමා අධ්‍යක්ෂක වරයා මෙහෙම කථාවක් කියලා තියෙනවා……
” මහ බලවත් රාජ්‍යයන් සෑම විටම චණ්ඩින්, මදාවින් ලෙස හැසිරී ඇත……කුඩා රාජ්‍යයන් සෑම විටම ගණිකාවන් වශයෙන් හැසිරී ඇත….” 
( ” The great nations have always acted like gangsters, and the small nations like prostitutes” – Stanley Kubrick – 1963 )
මේක තමයි ජාත්‍යන්තර දේශපාලන යථාර්තය…..මේක ඊයෙත්, අදත්, හෙටත් ගෝලීය ජාත්‍යන්තර සබඳතා වල යථාර්තය……විශේෂයෙන්ම ” මහ බලවතුන්” අතර මා ඉහත විග්‍රහ කරපු ” බළ තුලනය” නම් ප්‍රපංචය අත් දකින එයට මැදිවී සිටින කුඩා රාජ්‍යයන්ට විවිධ දේශපාලනික අභියෝග ජය ගැනීම සඳහා සිය භූමිය, සම්පත් සහ කළමණාකරණය පැත්තෙන් යම් යම් ” පරිත්‍යාග” කරමින් ඒ මහ බලවතුන් සමග යහනට ගොඩවෙන්න සිදුවෙනවා……
ජාතිකවාදයෙන් හෝ වාමවාදයෙන් පට්ට මොරාල් සහිතව ඉන්න ඇත්තන්ට මේවා කොන්ද පණ නැති කථා ලෙස පේන්න පුලුවන්……නමුත් මේ තමයි කඨෝර යථාර්තය…….මේවා කිසි සේත්ම ජනප්‍රිය කථා නෙමෙයි……නමුත් “ඇත්ත” තිත්තයි වගේම හැම විටම අපකීර්තිමත්…….කරන්න දෙයක් නෑ…..ඇත්ත කථා කළ යුතුයි….ඉන්දියාවේ අපේක්ෂාවන්ට සෘජුව හරස් වෙන්න ගිය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් සෑහෙන වන්දියක් ගෙවා තිබෙනවා……
තෙල් ටැංකි කථාව හෝ චීනය සමග ඇති ශ්‍රී ලංකාවේ ගණුදෙණු බැලන්ස් කරන්න ඉන්දියානුවන්ට යමක් පිරි නැමීම ආර්ථිකයෙන් ඔබ්බට හිස පොවා බැලිය යුතු දෙයක්…..

​උපුටා ගැනීමකි – Damith Kethaka

​”උමා ඔය ඇස්තමේන්තුවෙන් ඩොලර් මිලියන 248 ක් ගිල්ලේ මෙහෙමයි.” (කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ලියයි )


[උමා ඔය කදුකරයේ හදවත සිදුරු කළේ කොමිස් උදෙසා මිස ‘සංවර්ධනයේ නාමයෙන්‘ නොවේ!] – කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් 

බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සදහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගම විසිනි. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 කි. 
රාජපක්ෂ රජය උමා ඔය ව්‍යාපෘතියට ආකර්ශනය වන්නේ වැලිමඩ ජලය මොණරාගලට ගෙන යන්නට එමගින් අවස්ථාව ලැබෙන නිසාම නොවේ. සැබවින්ම වැලිමඩ ජලය හම්බන්තොට ගෙන යන කතාව මැතිවරණ වේදිකා කථාවක් පමණකි.
කැනඩා ඇස්තමේන්තුවෙන් වසර 3 කට පසුව ඉරානය මෙම ව්‍යාපාරයට මැදිහත් වේ. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ලංකා සංචාරය අතර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට මේ අනුව සුදානම් වන අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පැවුරුණි. ඔහු ගේ දැඩි විරෝධනය නිසාම ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්‘ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතර අත්සන් තබනු ලබයි. එවකට වාරිමාර්ග අමාත්‍යවරයා වූයේ චමල් රාජපක්ෂ මහතා ය. 
මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය. කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද සකස් කරන ලද ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 548 කි. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එයට පක්ෂ නොවන වාර්තාවක් ද එයට සමගාමීව ඉදිරිපත් කරනු ලැබීය. (ගුණවර්ධන මහතා යනු පරාක්‍ර‍ම සමුද්‍ර‍ය කැඩී ගිය අවස්ථාවේ ඉතා කෙටි කලකින් එය ප්‍ර‍තිසංස්කරණය වාරි ඉංජිනේරුවරයා ය.)
එයින් 85% ක් ඉරාන රජය මගින් ද, 15% ක් ලංකා රජය මගින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකගත්වය පළ කරනු ලැබීය. වත්මන් උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 7632 කි. 
ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට මෙම ගිවිසුමට අත්සන් තැබීම සදහා දේශපාලන බලපෑම් එල්ල වන්නේ මේ අවස්ථාවේ දී ය. එය ප්‍ර‍තිඑලය වූයේ 2009 ජනවාරි 9 දින අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ය. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපියේ ලියන්නේ ‘ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248 ක පිරිවැයක් දැරීමට සිදුවන ගිවිසුමකට මාගේ අත්සන යෙදිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවයි. 
වාරි මාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩුව සදහා පත්වන්නේ අයිවන් සිල්වා මහතා ය. ඔහු දේශීය විශේෂඥයින්ගේ ද, ඌව ජනතාවට ද, පරිසර වේදීන් ද එක හඩින් එපා කියන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ කැනේඩියානු ඇස්තමේන්තුවට වඩා සිව් ගුණයටක මදක් අඩු ඇස්තමේන්තුවකට ය. ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකග වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 248 කට වැඩි මුදලකටය. 
උමා ඔය ව්‍යාපෘතියට පරිසර ඇගයීම් වාර්තා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 අප්‍රේල් 12 දා ය. අලුත් අවුරුද්ද ලබන්නට පැය ගණනකට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ලංකාවේ මධ්‍ය කදුකරයේ නැගෙනහිර බෑවුමේ හදවත සිදුරු කරන්නට අවසර ලබාදීම පිටුපස ඇත්තේ ද දැවැන්ත අබිරහසකි. ජනතාව වීදි බැස හර්තාල් කරන සුන්දර බණ්ඩාරවෙල කාන්තාරයක් බවට පත් කොට ඇති උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එදා මෙදා තුර පාලකයින් වගකිය යුත්තේ මේ දැවැන්ත විනාශය නිසාමය.
රජිත් කීර්ති තෙන්නකෝන්

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ

හිටපු උපදේශක – දුෂණ විරෝධී පෙරමුණ

2017 ජූනි 30

​උමාඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු..


උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ?? 

උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. 
ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට  කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත්  සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න.. 
ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..
ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන්  කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ… උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව… අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ..  එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්…ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා.. 
මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී  ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්…!!! 
ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්..  ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3)  ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන උමං සහිත මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්.. 
ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා… උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට “හානියක්” නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම… සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..

ඊලඟ එක නැවත පදිංචිකිරීම්… මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි… මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා… ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්..  බොහොම සාමාන්‍යයි..

අනෙක් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්.. 
පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා…දැන් එමු ප්‍රශ්නෙට.. ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යාකරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.. තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක…හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග  කිලෝමීටර් 3.3ක්.. මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ.. ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දුවෙනවා ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජලමට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරිතැලීම් සිද්ද වෙනවා.. මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා.. එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!! ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින්  ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ…!!  මේ වෙද්දි අවස්ථා දෙකකදි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකියයුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි… සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්… ටනල් එක හදලා ඉවර වෙද්දි භූජලවිද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්… මේක තාවකාලික තත්වයක්..!!  

මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතුවෙනවා…මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා.. සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්. ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජලවිදුලිය සම්බන්ධ  නමක් තියන  සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම.. 

උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශකප්‍රදේශ විනාශවීමක්වත් වෙන්නෙ නෑ.. ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. 

මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!

උපුටනය  – නොතිර සසර

පොල්ගස් නගින්නන්ට පෙර


​පොල්ගස් නගින්නන්ට ඉහල ඉල්ලුමක් සහ ඉහල වැටුපක් ඇත. 
ඔබට පොල්ගස් නගින්නට ඕනෑනම් ඔබට තිබිය යුතු අවම සුදුසුකම පොල් ගස් නැගීමට හැකිවීම පමනි. 
ඔබට කොස්,දෙල්,පේර ගස් නැගීමට හැකිවීම පොල්ගස් නැගීමට සුදුසුකමක් නොවේ. 
ඔබට සල්ලි තිබ්බා කියා ඔබට පොල්ගස් නැගීමට හැකියාව නැත්නම් පොල්ගස් නැගීම කිසිසේත් කල නොහැක. සල්ලි ගෙවා පොල්ගස් නැගීමේ ක්‍රම සහ දැනුම ඉගෙන ගත්තද පොල්ගස් නැගීමේ හැකියාව සල්ලි ගෙවා ඔබට ලබාගත නොහැක.
ඉහල පොල්ගස් නැගීමේ හැකියාවක් නැත්නම් පොල්ගස් නැග පොල් කැඩීමට උත්සාහ කිරීමෙන් වලකින්න. මොකද බැරිවැඩ කරන්නට ගිහින් බිම වැටුනොත් අතපය කැඩෙන්නේ ඔබේය. නමුත් විදවන්න වෙන්නේ ඔබට විතරක් නොව ඔබේ සමීප හැමෝටමය.