Me and me


​උබලා හැමදාම දැකපු සහ දකින මගේ සිනහව ඇතුලේ කවදාවත් මම විදපු මම විදින දුක් පෙන්නුවේ නෑ….
ඒවෙනුවට හැමදාමත් මම කලේ මටත් වඩා දුක් විදින තව එකෙක්ව සතුටින් තියන්න උත්සාහ කරපු එක.
හෙට මැරෙයිද කියලා නොදන්න ජීවිතයේ ඉන්න තත්පරයක් ගානෙ ජීවිතය විදිනවා මිසක විදවන්නේ නෑ මම.
පැමිණි දුක් පැනි රසක් කරගත් මට තිත්ත දැනෙන්නේ නැති විම සතුටක්

ටෝස්ට් පාන්


මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.

බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

“මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී ” ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.

එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

“දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ”

එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.

එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.

අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

“ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් ” යන්න පමනි.

වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.

 

උපුටාගැනීමකි

ජීවිතය ගැන


ජීවිතය ගැන ,
ජීවිතේ ගොඩක් දේවල් අහිමි උන කෙනෙක්,
ජීවිතය තනියම ගොඩනගාගත් කෙනෙක්,
ජීවිතය ගැන පර්යේෂණ කල කෙනෙක්,
ජීවිත ගණනකට ජීවිතය ගැන කියා දුන්න කෙනෙක්,
ජීවිත ගණනක් ජීවත් කරවපු කෙනෙක්,
ජීවිතය පුරාවටම තාමත්,
ජීවත් වෙන්න වෙරදරනවා,
ඒ වෙන කවුරුවත් නෙවෙයි,

……………………

එන්න එන්න ආහාර මුද්දරේ ගන්න එන්න ළමායි.


 

asammathayaමේ තමයි 1991දි ඉස්කෝලෙ යන ළමයින්ට ආණ්ඩුවෙන් දුන්න ආහාර මුද්දරේ, ඒ කියන්නේ ආණ්ඩුව ගානේ ළමයින්ට නිකන් කන්න දුන්න මුදල. මේක ඉස්කෝලේ කැන්ටිමට දීලා දවසකට රුපියල් 3කම මදි නොකියන්න කන්න පුළුවන්,

ඇයි මොකද හිනාවෙන්නේ? ඉස්සර රුපියල්3ක් කියන්නේ හෙන ගානක් හරිද? දන්නේ නැත්තන් අහගන්න,

ඉස්සර (1990-1991 කාලේ හරිද) බස් එකේ බාග ටිකට් එකක් සත 25යි. (දැන් සත 25 එවා ලෙවෙත් නෑ)
පාන් ගෙඩිය රුපියල් 3යි. (දැන් 60ද මන්දා)
බුල්ටො 1ක් සත 5යි, ටොපියක් සත 10යි (ඒකාලේ චොකලට් තිබුනේ නැහැ අපිටනම් කන්න)
පෑනක් රුපියලයි, පොතක් රුපියල් 2 ඉදලා තිබුනා
පන්සලක් සත 50යිද කොහෙද (හරියට මතකනෑ මට)

ඉතින් මදිද බොලව් රුපියල් 3ක් කන්න දුන්නම. හැබැයි ඔය මුද්දරේ කියපු එකට මම හරි කැමති. මොකද 1994 විතර ඔය සමුර්ධිය කියන එක දුප්පත් කට්ටියට දුන්නනේ. අපි හිතුවේ අපිට වගේ මිනිස්සුන්ටත් නිකන් ආණ්ඩුවගානේ කන්න දෙනව කියලා. ඒකටත් කිව්වේ සමුර්ධි මුද්දරේ කියලා තමයි. ආ මට අමතක උනානේ ඇයි මම මුද්දරේ කියන එකට කැමති උනේ කියලා.

ඒකාලේ අපිට බස් එකේ යන සීසන් එකත් ඔය සයිස්මයි, ඔය පාටමයි. ඒත් හැමදාම අපි සීසන් එකයි ඔය මුද්දරෙයි ටපලගෙන බස් එකට මුද්දරේමයි දෙන්නේ. හැමදාම බැනුම් කොන්දාගෙන් දෙපිටින් යන්න.

ඉතින් ඔයවගේ සුන්දර දේවල් ගොඩක් උනා අපේ පුන්චි කාලෙ නම්. මේවගේ අත්දැකීම් තියන අය අනිත් අයටත් දැනගන්න ඔයාලගේ අත්දැකීම් ලියලම ගියොත් මම බොහෝම අගේ කරනවා.

අසම්මතය බ්ලොගය වින්ඩෝස් 8 ඇප් එකක් ලෙසින් නිකුත්වූ ලොව පළමු සිංහල බ්ලොගය බවට පත්වෙයි.


අසම්මතය වින්ඩොස් 8 ඇප් එක ගැන මම කලින් පෝස්ට් එකේදි කියලා තිබුනානේ නිකුත් වෙන්න නියමිතයි කියලා. ඇත්තටම දැන් අසම්මතය ඔයාලට වින්ඩෝස් 8 ඇප් එකක් විදිහට බාගත කරගන්න පුළුවන්.

This slideshow requires JavaScript.

මේ විදිහට අසම්මතය ඔයාලට ලංකරන්න අපිට ලේසි වුනේ නැහැ. සිංහල කියන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මෘදුකාංගවලට සම්මත භාශාවක් නෙවෙයි තවමත්. ඒනිසා මේ ඇප් එක අනුමතකරගන්න මේ ඇප් එක හදපු ඉශාම් මොහොමඩ් මල්ලිටත් මටත් ගොඩාක් මහන්සි වෙන්න වුනා. අන්තිමට ඇමෙරිකාවේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මව් ශාඛාවට සිද්දවුනා ලංකාවේ අපේ රටේ මෘදුකාංග ශිල්පීන් ගාවටම ඇවිත් වැඩේ කරගන්න. හැබැයි අපි උත්සාහ කරනවා ඉස්සරහට මේවගේ අකරතැබ්බ වලට ඔයාලටත් ඉස්සරහට නොවෙන්නට ලංකාවේ මයික්‍රොසොෆ්ට් ආයතනය හරහා යම් වැඩපිලිවෙලක් යොදන්න.

මෙතනින් ගිහින් අසම්මතය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ……
එහෙමත් නැතිනම් වින්ඩෝස් 8 ඇප් ස්ටෝර් එකට ගිහින අසම්මතය කියලා හොයලා බලන්නකෝ…

සල්ලි ගන්නේ නෑ අනේ…

වින්ඩෝස් 8 ඇප් එකක් ලෙසින් නිකුත්වීමට නියමිත ලොව පලමු සිංහල බ්ලොගය අසම්මතය බවට පත්වෙයි.


asammathaya

සයිබර් අවකාශයේ කෙතරම් සිංහල බ්ලොග් ඇත්ද? ඒ බ්ලොග් අඩවි කියවන පිරිස කෙතරම් වේද? මසකට බ්ලොග් හිට්ස් දසදහස් ගණනින් ලැබෙන ජනප්‍රිය බ්ලොග් කෙතරම් තිබේද? ප්‍රශ්ණ ගොඩයි නේද?

කමක් නැහැ ඒ මොනවා තිබුනත්, මගේ අසම්මතය බ්ලොග් සටහනත් මාසෙකට යන්තම් හිට්ස් 1500ක් විතර වදින දැනට 25000ක් දෙනා බලපු බ්ලොගයක්. මාව දිරිමත් කරන, මාහට උපදෙස් ලබාදෙන, මම ලියන දේ අගය කරන පිරිස වෙනුවන් මම හිස නමා ආචාරකරනවා. ඒවගේම ඒ අය මාත් එක්ක හැමදාම ඉදීවි කියලාත් විශ්වාසයක් තියනවා.

මේ අතරේ මගේ බ්ලොග් අඩවිය වින්ඩෝස් 8 ඇප්ප් එකක් ලෙසින් නිකුත් කරන්නට කාලයක ඉදලා මගේ ලොකූ අදහසක් තිබුනා. ඒ නිසාම මම ලෝකෙන්ම පලවෙනි වතාවට සිංහල බ්ලොග් අඩවියක් වින්ඩෝස් ඇප් එකක් ලෙසින් නිකුත් කරන්නට මහන්සි ගත්තා. තව ටික දවසකින් ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වේවි.

මේ සදහා මාගේ හොදම මිතුරෙකු වන ඉශාම් මොහොමඩ් ඉක්බාල් ඉමහත් දායකත්වයක් ලබාදුන් අතර ඒ සදහා ඔහුට මාගේ හදපිරි ස්තුතිය ඔහුට පිරිනමනු ලබනවා.

ඔන්න අසම්මතයත් වාර්තාවක් තියන්නයි යන්නේ. අසම්මතය කියන්නේ අන්න ඒවගේ අමුතු අමුතු දේවල් කරන කියන සහ පෙන්නන සුන්දර කැටපත් පවුරක් බව මතක තියාගන්න.

සබරගමුව සරසවියේ දූ පුත්තු ඉවර කරනවද නිලබල ඇති සත්තු


දිවයින පුවත් පතින් උපුටා ගන්නා ලද්දකි. ලිපිය ලියන ලද්දේ නිලන්ත මදුරාවල විසිනි. සබරගමු සරසවිය සහ සරසවි සිසුන් මුහුනදී ඇති ගැටළු පිලිබදව ජනමාධ්‍ය මගින් කරන්නාවු කාර්යය අගට කිරීම සදහා මෙන්ම සබරගමුවේ ඇත්ත පිළිබදව ඔබගේ අවදානය යොමුකිරීමද මෙම ලිපිය නැවත ඉදිරිපත් කිරීමට හේතුවවේ.

සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පසුගිය ජනවාරි මස තිස්‌වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යෑව්වේය. “ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුළ නිසි සැලසුමට සහ ප්‍රමිතියට ඉදිකර නොමැති ක්‍රීඩාපිටිය සහ ගොඩනැඟිලි සිසු අයිතියට පත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධවයි” යන ශීර්ෂය යටතේ යවන ලද එම ලිපියෙන් විශ්වවිද්‍යාල පරිපාලනයේ අක්‍රමිකතා රැසක්‌ අනාවරණය කර තිබිණි. මහා ශිෂ්‍ය සංගමය එම අක්‍රමිකතා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්‌ කිරීමට ද හේතුවක්‌ තිබිණි. එනම් සබරගමුව විශ්වවිද්‍යාලයේ “විශ්වවිද්‍යාල දිනය වන පෙබරවාරි මස 02 වැනිදා” සැලසුමකින් සහ ප්‍රමිතියකින් තොරව ඉදිකරමින් පවතින ක්‍රීඩාපිටිය හා ගොඩනැඟිලි මහෝත්සවාකාරයෙන් සිසු අයිතියට පත්කිරීම සඳහා සියලු විධි විධාන යොදා තිබීමය. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වීමට සූදානම් වූයේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාය. ඒ වන විටත් ඉදිවෙමින් පැවැති ක්‍රීඩාපිටිය හා භූ විඥපන පීඨ සංකීර්ණය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් විවෘත කරන ලද බව සඳහන් සමරු ඵලකය අදටත් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වෙයි. බැසිල් රාජපක්‍ෂ මහතා පය නොතැබූ විශ්වවිද්‍යාල භූමියේ ඒ මහතා විවෘත කරන ලද බව සඳහන් සමරු ඵලකය සාක්‌ෂි දරන්නේ කුමක්‌ද?

“නොයෙකුත් අධ්‍යයන හා සුභසාධන දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් වන අප මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් යම් ප්‍රමාණයකට විසඳුම් ලෙස භූ විඥාපන පීSඨ සංකීර්ණය, ක්‍රීඩාපිටිය, ක්‍රීඩාගාරය සහ පිරිමි නේවාසිකාගාරය ඉදිකිරීම් කටයුතු මේ වන විටද සිදුවෙමින් පවතී. නමුත් මෙම ඉදිකිරීම් සියල්ල සම්බන්ධයෙන් මේ වනවිටත් දැඩි ගැටලුකාරී තත්ත්වයක්‌ පැන නැගී ඇත. ඒ… මෙම ඉදිකිරීම් සැලසුමට අනුකූල නොවන බවත්, ප්‍රමිතියෙන් තොර බවත් විවිධ අවස්‌ථාවන්හි ලිපි මගින් සාකච්ඡාවලදී, විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දැනුම් දුන්නද එය බිහිරි අලින්ට වීණා වයන්නාක්‌ පමණක්‌ වීමය.

වසර ගණනාවක සිට සිදුකෙරුණු ශිෂ්‍යයන්ගේ අඛණ්‌ඩ ඉල්ලීම්, ශිෂ්‍ය ක්‍රියාමාර්ග, ආචාර්යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල පරිපාලනයේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස භූ විඥපන පීඨ සංකීර්ණය, ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාගාරයත්. පිරිමි නේවාසිකාගාරයත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට උරුම වූ බව අපි විශ්වාස කරන්නෙමු. මෙලෙස ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි සහ ක්‍රීඩාපිටිය නිසි සැලසුමට සහ ප්‍රමිතියකට නිම නොකර ඇති තත්ත්වයක්‌ තුළ එළඹෙන පෙබරවාරි 02 වැනිදා බලහත්කාරී විවෘතයකට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරමින් සිටියි. නමුත් මෙම ඉදිකිරීම් සියල්ල සිසු අයිතියට පත් කිරීමට නම් නොවිසඳී ඇති මෙම ගැටලුකාරි තත්ත්වයන් නිරාකරණය කර ගත යුතු අතර එම කරුණු ඔබතුමාගේ දැඩි අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු,.

ජනවාරි මස 30 දාතමින් මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියේ ඉහත කරුණු සඳහන් කරමින් අනාවරණය කළේ පරිපාලනයේ අක්‍රමවත් බව හැර වෙනත් යමක්‌ නොවේ. ගලින් නෙළන ලදුව නොසිදුවූවක්‌ සඳහන් කරමින් විශ්වවිද්‍යාල භූමියේ දැකිය හැකි සමරු ඵලකය සාක්‌ෂි දරන්නේද එයමය.

මහා ශිෂ්‍ය සංගමයේ මෙම ක්‍රියාමාර්ගය නිසා මහෝත්සවය නතර කිරීමට පාලනාධිකාරියට සිදුවිය. බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා විශ්වවිද්‍යාලයට නොපැමිණියේය. වැඩ අවසන් නොවූ ව්‍යාපෘතියක්‌ කඩිමුඩියේ විවෘත කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලන අංශ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි දෝෂදර්ශනයට ලක්‌විය. ආර්ථික සංවර්ධන ඇමැතිවරයා විශ්වවිද්‍යාලයට ගෙන්වා පසඟ පිහිටුවා වැඳීමට තිබූ අවස්‌ථා මගහැරී යාමේ වේදනාව වෛරයක්‌ බවට පෙරළී සිසුන්ට එරෙහි අවි අමෝරා යැමේ ආරම්භය සනිටුහන් වන්නේ එම අවස්‌ථාවේ සිටය. වත්මන් උපකුලපතිවරයාගෙන් පසුව එම පුටුවට පොරකන්නෝa තම තමත් ලකුණු දමා ගැනීමේ “මෙහෙයුමක්‌” ද ගොඩනැඟිලි විවෘත කිරීමේ මහෝත්සවයේ අනිවාර්ය, අන්තර්ගතයක්‌ ලෙස සැලසුම් වී තිබිණි. මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාමාර්ගය නිසා එම මෙහෙයුම ද අසාර්ථකව විනාශයට පත්විය. මෙම තත්ත්වය යටතේ වත්මන් උපකුලපති මහාචාර්ය මහින්ද එස්‌. රූපසිංහ මහතා ද ඇතුළු උපකුලපති සිහිනයේ පාවෙමින් සිටි කිහිපදෙනා ද සිසුන් දෙස බැලුවේ වෛරය මුසු හැඟීමකිනි. ඔවුන් එවැනි මානසික තත්ත්වයකින් සිසුන් දෙස බැලුවද මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාමාර්ගය නොවන්නට අදටත් සිසුන්ට පාවිච්චි කිරීමට සිදුවන්නේ නිසි සැලසුමකට හා ප්‍රමිතියකට අනුව ඉදි නොවූ ගොඩනැඟිලි ප්‍රමාණයක්‌ හා ක්‍රීඩාපිටිය බව අමතක නොකළ යුතුය.

කාලය ක්‍රමයෙන් ගත වෙද්දී නවක සිසුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිවීම ආරම්භ කෙරිණි. 2011 වසරේ උසස්‌ පෙළ ප්‍රතිපල අනුව සමස්‌තයක්‌ ලෙස විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව පන්දහසකට අධික ප්‍රමාණයකින් වැඩිවූ අතර එම වැඩි විම ඒ ඒ විශ්වවිද්‍යාලවලට බෙදනු ලැබිණි. ඒ අනුව සෑම විශ්වවිද්‍යාලයකටම ඇතුළත් වීමට නියමිත වූ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි විය. ඇතැම් පීඨවල ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණ විය. එහෙත් සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව පෙර වසරටත් වඩා අඩු වී තිබිණි. එලෙස අඩුවීමට ප්‍රධාන හේතුව වී තිබුණේ විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ ඒ ඒ පාඨමාලාවන්ට සුදුසුකම් ලැබීමේ පරීක්‍ෂණවලින් සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමය. විශ්වවිද්‍යාලයේ ඇතැම් පාඨමාලාවන්ට ඇතුළත් වීමට නම් සුදුසුකම් ලැබීමේ පරීක්‍ෂණය සමත්වීම අනිවාර්යය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යොමුකරන්නේ එම පරීක්‍ෂණයෙන් සමත් වූ සිසුන් පමණි. විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ නවක සිසුන් සංඛ්‍යාව අඩු වීමට හේතු වූයේ එම තත්ත්වයය. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් උද්ඝෝෂණ වැනි ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන්ට යොමුවන්නේ නවකයන් පැමිණෙන කාලවකවානුවේදී යෑයි කීම නිවැරැදිය. මන්ද විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සපුරා ගැනීම වෙනුවෙන් සටන් කරන බව හුවාදක්‌වමින් ශිෂ්‍ය සංගම්වලට නවකයන් ළං කර ගැනීමට හැකියාව ලැබෙන හෙයිනි. විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන්ගෙන් මෙතෙක්‌ අය කළ ගාස්‌තුව රුපියල් දෙදහස්‌ පන්සියය දක්‌වා වැඩි කිරීමට ද පරිපාලන අංශ පියවර ගෙන තිබූ අතර නේවාසිකාගාර ගාස්‌තුව ද වෙනම ගෙවිය යුතු විය. මෙතරම් මුදලක්‌ අය කිරීම සම්බන්ධයෙන් තමන්ගේ දූ දරුවන් සමඟ පැමිණි ඇතැම් දෙමව්පියෝ වික්‍ෂිප්ත වූහ. ප්‍රමාණවත් ලෙස සිසුන් බඳවා නොගැනීම, ලියාපදිංචි ගාස්‌තු ඉහළ දැමීම මෙන්ම විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සම්පූර්ණ නොකිරීම යන කරුණු මුල්කර ගනිමින් මහා ශිෂ්‍ය සංගමය උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන අංශ සමඟ සාකච්ඡා ආරම්භ කළේය.

මේ අතර ශිෂ්‍ය සංගම් රැස්‌වීම් සම්බන්ධයෙන් නව නීති මාලාවක්‌ ද උපකුලපතිවරයා විසින් නිකුත් කරනු ලැබිණි. එනම් මහා ශිෂ්‍ය සංගම් රැස්‌වීම කැඳවිය හැක්‌කේ සිකුරාදාවන්හි දහවල් දොළහේ සිට රාත්‍රි හත දක්‌වා පමණක්‌ බවත් සමාජ විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමය බදාදාවන්හි පමණක්‌ රැස්‌විය යුතු බවත් එහි සඳහන් විය. එමෙන්ම රාත්‍රි දහයෙන් පසු සියලුම සිසුන් නේවාසිකාගාරවලට යා යුතු බවට ද නියෝග කර තිබිණි. සිසුවියන් පෙර පරිදිම රාත්‍රි අට වන විට නේවාසිකාගාරවලට යා යුතු විය. මෙම නව නීති මාලාවට අනුව සියලු පීඨ ශිෂ්‍ය සංගම්වල නියෝජිතයන් සහභාගි වන මහා ශිෂ්‍ය සංගම් කාරක සභාව කැඳවීමට සිසුන්ට නොහැකි විය. ඊට හේතු වූයේ සමාජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය රැස්‌විය යුත්තේ බදාදා පමණක්‌ය යන නියෝගය ය. මෙම තත්ත්වය මත සිය නිදහස අසීමිත ලෙස උල්ලංඝනය වන නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය මාර්තු මස 12 වැනිදා මහා ශිෂ්‍ය සංගම් මහා සභාවක්‌ කැඳවීමට පියවර ගැනිණි. සිසුන් බහුතරයකගේ ඉල්ලීම පරිදි 1988 අංක 26 දරන විශ්වවිද්‍යාල පනතේ 112 වැනි වගන්තිය ප්‍රකාරව මහා සභාව කැඳවූ බව සිසුහු පවසති.

විශ්වවිද්‍යාලය මහා අර්බුදයකට ගමන් කරවීමට පරිපාලන අංශ හේතු කර ගන්නේ මෙම මහා සභාව කැඳවීමය. මහා සභාව කැඳවීමෙන් පසු දින දෙකකින් මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේය. ඊට දින දෙකකට පසුව මහා සභාවට සහභාගි වූ බව කියා මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම්, භාණ්‌ඩාගාරික, උප සභාපති හා සංස්‌කාරක යන සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට ද පරිපාලන අංශ කටයුතු කළේය. පදනම් විරහිත චෝදනා නගමින් මෙම සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවා ඇති බව කියමින් ඊට එරෙහිව සියලු සිසුන්ගේ අත්සනින් යුත් පෙත්සමක්‌ ද සිසුහු උපකුලපතිවරයාට භාර දුන්හ. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්‌ථාවක්‌ දෙන්නැයි සිසුහු උපකුලපතිවරයාගෙන් කළ ඉල්ලීම්වලට ද ප්‍රතිචාරයක්‌ නොලැබිණි. එහෙයින් විශ්වවිද්‍යාලයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට තීරණය කළ සිසුහු රත්නපුර, බලංගොඩ, බදුල්ල, බණ්‌ඩාරවෙල, මහනුවර හා මාතර යන නගරවලදී අඩි සියයක බැනර් මත අත්සන් තැබීමේ විරෝධතාවක ද නියෑළුණහ. මේ අතර ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනයට එරෙහිව අනධ්‍යයන සේවක එකමුතුව ද උපකුලපතිවරයාට ලිත දැනුම්දීමක්‌ කර තිබිණි. ඒ අතර විරෝධතාවන්ට සහභාගි වූ තවත් සිසුන් පස්‌දෙනකුට උපකුලපතිවරයා අවවාදාත්මක ලිපි නිකුත් කිරීමට පියවර ගත්තේය. පරිපාලන අංශවල අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල භූමියේ කළු කොඩි එසවීමට සිසුන් පියවර ගත්තේ ඉන් අනතුරුවය. දිගින් දිගටම සිදුවන්නා වූ මර්දනකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අඛණ්‌ඩ උද්ඝෝෂණ මාලාවක්‌ ආරම්භ කළ සිසුහු අඛණ්‌ඩ පන්ති වර්ජනයක්‌ ද ප්‍රකාශයට පත්කළහ. මේ අතර තවත් සිසුන් දෙදෙනකුගේ පන්ති තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේය. ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එරෙහිව සිසුහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ද කළහ. ඒ… පසුගිය අප්‍රියෙල් මස 11 වැනිදාය. ඉන් පසුව යළි මැයි මස 7 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවට ගිය සිසුහු පැමිණිලි කර සිටියේ පන්ති තහනමට ලක්‌කර සිටින සිසුන්ගේ විනය පරීක්‍ෂණ කඩිනම් නොකිරීම සම්බන්ධවය. ශිෂ්‍යභාවය අත්හිටුවන ලද මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් පස්‌ දෙනා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු සංගමයේ සංස්‌කාරකට හැර සෙසු සිසුන් සිවු දෙනාට මාස අටකට ශිෂ්‍යභාවය තහනම් කිරීමට පියවර ගැනිණි. සංස්‌කාරක ලෙස කටයුතු කළ ශිෂ්‍යයා සිද්ධියට සම්බන්ධ නොමැති බව අනාවරණය වීම නිසා ඔහුට දඬුවම් නියම නොකළ බව එහි ආරංචි මාර්ග කීවේය. මෙලෙස මාස අටක දඬුවමකට ලක්‌වූ සිසුන් විසින් තමන්ට සමාසික අවසාන විභාග සඳහා පෙනී සිටීමට අවස්‌ථාව දෙන්නැයි මැයි මස 9 වැනිදා පරිපාලන අංශවලින් ලිතව ඉල්ලා සිටින ලදී. ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු අතර සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව සියලු සිසුන්ගේ අත්සනින් යුත් පෙත්සමක්‌ මැයි මස 16 වැනිදා උපකුලපතිවරයාට භාර දෙනු ලැබිණි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 18 වැනිදා පාලක සභාව කැඳවනු ලද නමුත් සිසුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ගෙන නොතිබිණි.

එම සිසුන්ගේ විභාග අයිතිය ඉල්ලමින් සියලුම සිසුන් සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ මැයි මස 21 වැනිදාය. සිසුන් සත්‍යග්‍රහය ආරම්භ කළේ උපකුලපති කාර්යාලය ඉදිරිපිට හෙයින් පසුදිනම කාර්යාලය වසා දමා උපකුලපතිවරයා විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් විය. සිසුන් සත්‍යග්‍රහයේ යෙදී සිටියදී 24 වැනිදා අලුයම 1.20 ට පමණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්‌ටුව අසලට වාහනයකින් පැමිණි කිහිප දෙනෙක්‌ ආරක්‌ෂක අංශවලින් යමක්‌ විමසා එතැනින් ඉවත් වී ඇත්තේ අහසට වෙඩිල්ලක්‌ද තබමිනි. මෙම වෙඩි ප්‍රහාරයට හා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ නොකිරීමට එරෙහිව සිසුහු උද්ඝෝෂණයක්‌ ද කළහ.

පන්ති තහනමට ලක්‌ කර සිටින සිසුන් සිවු දෙනාට විභාගවලට පෙනී සිටීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් සිසුන් සිවු දෙනෙක්‌ අඛණ්‌ඩ උපවාසයක්‌ ආරම්භ කළේ සත්‍යග්‍රහ කියාමාර්ගයෙන් කිසිදු විසඳුමක්‌ නොලැබුණ හෙයිනි. ඉන්පසුවත් කිසිදු ප්‍රතිචාරයක්‌ නොලද හෙයින් අඛණ්‌ඩ උපවාසය මාරාන්තික උපවාසයක්‌ දක්‌වා තීව්‍ර කිරීමට සිසුන් පියවර ගත්තේ සහෝදර සිසුන්ගේ විභාග අයිතිය වෙනුවෙනි. මාරාන්තික උපවාසයේ යෙදී සිටි සිසුන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වෙද්දී සෙසු සිසුහු කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැවැන්ත විරෝධතාවක්‌ ආරම්භ කළහ. මාර්ගයෙන් ඉවත් වන්නැයි කිහිපවරක්‌ පොලිසිය කළ දැනුම් දීමට සිසුන් අවනත නොවීම නිසා අවසානයේ සිදුවූයේ මාර්ගය යුද පිටියක්‌ බවට පත් කරවමින් කඳුළු ගෑස්‌ ගසා සිසුන් විසුරුවා හැරීමය. ඒ මේ අත සී සී කඩ විසිර යන සිසු සිසුවියෝ පොලිසියේ බැටන් ප්‍රහාරයට ද ගොදුරු වූහ. සිසුහු සැලකිය යුතු සංඛ්‍යාවක්‌ තුවාල ලදහ. තුවාල ලැබූවන් අතර පොලිස්‌ නිලධාරීහු ද වූහ.

පසුගිය කාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය උපදේශකවරයාගේ නිවසට පහරදී වාහනයට ද අලාභහානි කිරීම වැනි බරපතළ සිද්ධියකදී වුවද සිසුන්ට දඬුවම් කිරීමට පියවර නොගත් පරිපාලන අංශ මහා සභාවක්‌ පැවැත්වීමේ “වරදට” සිසුන්ගේ ශිෂ්‍ය භාවය මාස අටකට අහෝසි කිරීමට තරම් දරුණු වීම උද්ගතව ඇති අර්බුදයට මූලිකම හේතු ව බව නොකිවමනාය. පෙබරවාරි මස දෙවැනිදාට නියමිතව තිබූ වන්දනාමාන කටයුත්ත අසාර්ථක වීමද පරිපාලන අංශ එතරම් දරුණුවීම කෙරෙහි බලපාන්නට ඇත.

මෙම සිද්ධිදාමයේ ලස්‌සනම සිදුවීම වන්නේ කොළඹ – බදුල්ල මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළ සිසුන්ගේ පන්ති තහනම් කිරීමේ සිද්ධිය ය. හොරාට කලින් කෙසෙල් කැන වැට පනින්නාසේ උද්ඝෝෂණයට සම්බන්ධ වීම නිසා පන්ති තහනමට ලක්‌ කෙරෙන සිසුන් සංඛ්‍යාව ගැන විශ්විද්‍යාල පරිපාලනයෙන් නිවේදනය කිරීමටත් පෙර උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලය මාධ්‍ය වෙත කරුණු දැක්‌වීමය. ඒ පිළිබඳ විශ්වවිද්‍යාලයෙන් විමසූවිට දැනගැනීමට ලැබුණේ එම සිසුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.

සබරගමු විශ්වවිද්‍යාල පරිපාලනය මෙතරම් දේශපාලනීකරණය වූ කාලවකවානුවක්‌ තවත් නොමැති තරම්ය. සරලව විස¹ගත හැකිව තිබූ ගැටලුවක්‌ සිසුන්ගේ පමණක්‌ නොව පොලිසියේද හිස්‌ පැළී රුධිරය ගලන තැනට රැගෙන ආවේ ඉහළින් ලද උපදෙස්‌ පරිපාලන අංශ දෝතින්ම වැළඳගෙන පිළිපැදීමේ ලැඡ්ජා සහගත ක්‍රියාමාර්ගය නිසාය. ස්‌වේච්ඡාවෙන්ම කොන්ද සිඳගෙන සිටින පරිපාලන අංශවල මේ ක්‍රියාකාරිත්වයන්හි ප්‍රතිඵල තවතවත් භයානක විය හැකිය. සියල්ලන්ම උත්සාහ කරමින් සිටින්නේ තම තමන්ගේ පුටු රැකගැනීමටය. ඉහළින් ලැබෙන උපදෙස්‌ එලෙසින්ම ක්‍රියාවේ යොදවන්නේද විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීම් ඉටුකිරීමට අමාත්‍යාංශ නිලධාරීන් පොර බදන්නේද ඒ නිසාය. ඒ හැර අන් කිසිදු අවශ්‍යතාවක්‌ ඔවුන්ට නැත.

මෙම සිද්ධිදාමයේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ටද යම් වගකීමක්‌ තිබිණි. එනම් එක්‌ අවස්‌ථාවක දී පරිපාලන අංශ සිසුන්ට දැනුම් දී තිබුණේ පන්ති තහනමට ලක්‌වූ සිසුන් සමාව ගන්නේ නම් විභාග සඳහා පෙනී සිටීමට අවස්‌ථාව දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවය. එම පණිවුඩය ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ලැබී තිබුණේ ආචාර්ය සංගමය හරහාය. එහෙත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනා ඒ බව සිය සහෝදර සිසුන්ගෙන් විමසා පොදු තීරණයක්‌ ගනු වෙනුවට එකඑල්ලේම එය ප්‍රිතික්‌ෂේප කර තිබිණි. බොහෝ සිසුහු ඒ පිළිබඳ නොදැන සිටියහ. සමාව ගැනීමේ ක්‍රියාමාර්ගයට යොමු වූයේ නම් ගැටලුව තරමකින් හෝ නිරාකරණය වීමට ඉඩ තිබිණි. ශිෂ්‍ය ක්‍රියාකාරීන් සේම සාමාන්‍ය ශිෂ්‍යයන්ද අවබෝධයෙන් සිටිය යුත්තේ පැහැදිලි දිය කළඹා හෝ සිය අරමුණු ඉටුකර ගන්නා දේශපාලනය සම්බන්ධයෙනි.

කෙසේ වුවද අශ්ලීල බව විසින් ඔද්දල් කරනු ලැබ සිටින මුග්ධ රැලකගේ අධම ක්‍රියාදාමයන් උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ක්‍රියාවට නැගෙමින් තිබේ. ඒ මුග්ධ රැල හමුවේ සටන් කිරීම අනුවණ කමක්‌ ලෙස දකිමි. මන්ද උන්ට ජීවිතයක වුව වටිනාකම පිළිබඳ අංශු මාත්‍රයක හැඟීමක්‌ නොදැනෙන බැවිනි.

නිලන්ත මදුරාවල

දිවයින