පන්ති නායකයා සහ අපේ ආතල්


පන්ති නායකයා වනාහි අමුතුම ජාතියේ එකෙකි… උගේ අම්මා හිතාගෙන ඉන්නේ ඉස්කෝලේ පරිපාලනයම උගේ අනුදැනුම ඇතුව සිදු වෙන දෙයක් කියාය.. ඌ හිතාගෙන ඉන්නේ පංතියේ නාම ලේකනය මුලු ලෝකයම බවත් උදේ හවස ඒක අරං එන යන ඌ ලෝකය උස්සං ඉන්න ඇට්ලස් යෝදයා කියාය.. ඌ යෝදයා කෙසේ වෙතත් ඇට්ලස් එකෙක් කියා අපටද සිතුන වාර අනන්තය.. පිරිමි විදුහලක පන්තියේ නායකයා යනු අර ග්‍රීක කතා වල බාගයක් අස්සයා සහ ඉතුරු බාගය මිනිහා වගේ හැදුන රූපයට සමාන එකෙකි…. උගේ සිරුර පිරිමි උනාට මනස අමු චීත්ත එකක් නෙවේ නම් ඌට කිසි සේත්ම පංති නායක පට්ටමක් නොලැබේ.. ඌ හිතං ඉන්නේ කොස්ස උගේ ජාතික වස්තුවක් කියාය.. අපි පංතියේ මදාවි ටීම් එක මනා පිලිවෙලකට පවත්වාගෙන යන අතර ඌ කුඩා කල පටන් සිය පංති නායක දුරයට අවශ්ය සුදුසු කම් සපුරාගනී ඒවයින් කොටසක් පහත දැක්වේ.

1……
පන්ති බාර සර්ගේ මයිල් ගහක් හෝ උදේ ගේට්ටුවෙන් එනවා දුටු විට මල් වත්තේ ශූටිං එකේදි දිල්හානි බදාගන්නට දුවගෙන එන ජීවන් කුමාරතුංග වගේ දුවගෙන ගොස් සර්ගේ අඩුම කුඩුම පිරුන මල්ල ඉල්ලාගෙන එය සදාතුක කරඬුවක් මෙන් ඔපිස් එකට වැඩමවීම

2.. පාරකදි තොටකදී සර් යනවා දැක්කොත් පැනගෙන ගොස් ගොම ගොඩක් උඩ හරි කමක් නෑ දනගසා වැඳ සර් ව විලි ලැජ්ජාවට පත් කිරීම..

3… විබාගෙට ලකුනු දුන්නම ඒ ලකුනු පිරික්සා තව ලකුනක් හෝ දමාගන්නට සර්ගේ අස්සේ කරකැවීම…

මෙකී නොකී ආටක නාටක වේපට සුංගං නැටීමෙන් පසු ඌ පන්ති නායකයා වන අතර අප අයත් වන්නේ කාලකන්නි වල් බල්ලන්ගේ ගොඩටය… පන්ති නායකයාගේ දින චරියාව අමුතු එකකි.. උගේ පැත්තට සූරියා පායන්නේ අපේ පැත්තට පායනවාට වඩා පැය තුනකට කලිනි.. ඉස්කෝලේ මුරකාරයටත් කලින් ඉස්කෝලෙට එන පොර පලමුව කොස්ස සෙවීමේ මහත් වූ වෙහෙස ගෙන දෙන්නාවූ කාර්යය ඉටු කරයි.. නිදන් හොරුන්ගෙන් කොතේ චූඩා මානික්යය බේරගත්තත් වෙන පංති වල එකාලාගෙන් කොස්ස බේරා ගත නොහැක.. නොමල ගේකින් අබ මිටක් සොයා උකටලීවැ ගිය කිසා ගෝතමිය මෙන් පංති පීරා කොස්ස සොයාගත නොහී නයා මැරුන කූතාඬියකු සේ ආපසු පංතියට එන නායකයාට ඇති ලොකුම ගැටලුව පංතිය අතුගාන්නට බැරි වීම වුවත් එදාට අපට පංතිය අතුගාන්නට තිබුනොත් එහෙම අපි දෙන පිනෙන්ම කොස්ස හොරකම් කරපු එකා නිවන් දකිනු ඇත.. කෙසේ හෝ පංති බාර සර්ට කේලම කියා අලුත් කොස්සක් ගැනීමට මුදල් එකතු කරගන්නා නායකයා එයින් මිලදී ගත් කොස්ස මැනිකක් රකිනා නාරජිඳෙකු සේ රැකීමට තරයේ සිතාගනී.. අපට සිටි සමහර පංති නායකයන් වෙස්සන්තර රජු සොයා වංක ගිරියට ගිය ජූජකයා සිහිගන්වමින් කොස්ස බිම ඇන ඇන ගෙදර ගෙන ගොස් පසුවදා ගෙන එන අවස්තා ද ඇත..

මේ මොන මගුලකට සමාව දුන්නත් අපි අපේ පංති නායකයාට සමාව නොදෙන වරදක් ඇත.. එනම් සර්ලා ටීචර්ලා කැන්දාගෙන එන්නට දුවන දිවිල්ලය….. පීරියඩ් එකක් පටන් ගන්නට බෙල් එක ගහලා විනාඩි 5ක් පමණ යන විට එම විශයට අදාල සර් හෝ මිස් නොපැමිනියොත් නායකයාගේ පස්ස පැත්තේ ඉත්තෑවෙකු රඟදැක්වීමට පටන්ගනී.. සර්ට අමතක වෙලා හෝ මොන මගුලක් වෙලා හෝ එන්න පරක්කු වීම අපට දෙවියන් විසින් දුන් පඬුරක් වැනිය.. පංති නායක මූසලයාට ඒ ආතල් එක නොතේරේ.. අපේ රැවුම් ගෙරවුම් මද්යයේ නායකයා සර් ව මැඩම්ව සොයා යන ගමන අරඹයි…. විනාඩි 5ක් පමන යන විට අපේ අහින්සක චිත්ත සන්තානයන් දැදුරු කරමින් කවකටු පෙට්ටි ඩ්‍රම් සෙට් වාදනයට තිත තබමින්.. බලමින් සිටි කුනුහරප පත්තර හකුලවමින්.. පෑන් ගසන එවුන්ගේ ක්‍රීඩා පිට් දෙවනත් කරමින්… සවස පංති අතර සිදුවන මහා ලෝක යුද්දයට අවශ්ය රබර් පටි ගිනි අවි සඳහා ස්වීප් ටිකට් වලින් උණ්ඩ නිපදවන උන්ගේ නීති විරෝධී උණ්ඩ නිශ්පාදනාගාර වසා දමමින් සර් කැඳවාගෙන එන අපේ පන්ති නායකයා පංතියට එන්නේ ලොකේ ලොකුම වැඩේ කෙරුවේ ඌ වගේය…

ඉන් අනතුරුව පංති නායකයා අපට හතුරු කම් කිරීම ඇරඹේ.. දවසට පංති අටකට පමණ උගන්නන සර්ට අපේ පංතියට ගෙදර වැඩ දුන්නාදැයි මතක නැත.. සර්ට වඩා දහ ගුනයක් පමණ වැඩ තියෙන අපට සර් ගෙදර වැඩ දුන්න බව කොහෙත්ම මතක නැත.. එහෙත් පංති නායක උලමාට පස්ස පැත්තේ අමාරුව සැරටම සෑදී ඇති නියාව මොනවට ගම්ය කරමින් සර් ආයිබොවං කියා අවසන් වූ වහාම අපේ ලේ කෝප කරමින්

“සර් ඊයේ කරන්න දුන්න වැඩ ”

කියාගෙන විසිතුරු වර්ණ රටා වලින් මල් සරසා පිට කවර දමා ඇති උගේ පොතත් උස්සාගෙන සර්ගේ අස්සට පැනීම අපට සෙනසුරු අපලය ලඟා කර දීමක් වැනිය.. උගේ පොත හරහා තඩි හරි ලකුණු පුරවා පොත ඌ අතට දී ගෙදර වැඩ නොකල අපේ පිට හරහා ගුටි සලකුණු තබන සර් ඉන්පසු ඉගැන්වීම පටන් ගනී.. සර් උගන්වන අතරේද පංති නායකයා සිය ලකුණු රැස් කිරීමේ මෙහෙවර අත් නොහරී.. සර්ගේ අවදානය ගැනීමට විවිද ඇක්ශන් දැමීමට ඔහු උපන් හපනෙකි.. තමන් අවදානයෙන් සිටින බව සර්ට ඇඟවීමට ඌ සර්ගෙන් විවිද ප්‍රශ්න නගයි.. අපිත් සර් උගන්නන අතරේ සර්ගෙන් විවිද ප්‍රශන අසන අතර අප ඒවා අසන්නේ සර්ට නො ඇසෙන්නට සිහින් හඬින්ය…
“ලමායි අපේ මේ කනේ ඇතුලේ පටලයක් පිහිටලා තියෙනව”
යැයි සර් උගන්නන විට අපි රහසේ නගන ප්‍රශ්න වන්නේ
” පටලේ ලොකුද දන්නෙ නෑ නෙහ්”
“කන්යා පටලෙද දන්නෑ නෙහ්”
“හිටගෙනද දන්නෑ නෙහ්”

ආදී ලෙස වුවද පංති නායකයා එවැනි බුද්දිමත් ප්‍රශ්න නො අසයි.. ඌට ඕනේ ඌ ගෙදරදී අච්චු පොතෙන් අද කරන පාඩම ඊයේ කියවූ බව සර්ට අඟවන්නටය..

” සර් ඒක කර්ණ පටහ පටලය”
කියා සිය බුද්දි ප්‍රභාව විහිදා සර් ව පොට්ට කර දැමීම ඌ විසින් සිදු කරයි.. සර් ටත් ඊට එහා දෙයක් නැත. ඇස් කන්නාඩියේ පැත්තේ අන්ඩ මාපටෙඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් අල්ලා යන්තම් ඉහලට ඔසවා නායකයා දෙස බලන සර් ” අන්න හරි හොඳ ලමයා” කියා නායකයා ට ප්‍රසංසා කරයි..බැරි වෙලාවත් සර්ට මොකක් හරි මගුලකට මල පැන සිටි වෙලාවක පංති නායකයාගේ මෙම පැන පැන දීම ට කෝප වන සර්
“තමුසේ ඉන්නවකො පනින්නේ නැතුව ”
කියලා කීවොත් පිටිපස්සේ අපේ මදාවි සෙට් එකට සිංහල අවුරුදු ලබන්නේ ඒ වෙලාවටය.. ලද අවස්තාවෙන් උපරිම පල ලබාගෙන විවිද අංග චලන මගින් පංති නායකයාට උසුලු විසුලු පාන අපේ සංදර්ශනය නතර වන්නේ
” සර් මෙයාලා ඇද කරනවා”
කියා පංති නායකයා විසින් කරනු ලබන පැමිනිල්ල මත ” මෙහේ වරෙවු යන දයාබර ආමන්ත්‍රනයෙන් පංතිය ඉදිරියට එන අපේ කොඳු වල ඇද සර්ගේ සුරතින් ඇරීමෙන් අනතුරුවය.. .මනමේ කුමරා මියගිය පසුව වැද්දා විසින්ද එලවා දමා අසරන වූ මනමේ කුමරිය මෙන් සර්ගෙන් ගුටි කා ඩෙස්ක් පේලි මැදින් ආපහු යන අපට පංති නායකයාගේ සරදම් සිනාව වේදනාවෙන් වුවද දරාගැනීමට සිදු වේ.. හදිසියේ වත් සර්ට පාඩම අතරමැදින් ඔපිස් එකට ගිහින් එන්නට සිදු උනොත් යන්නේ පන්ති නායකයාට අප මෙල්ල කර තබාගන්නා ලෙසත් කෑගහන එවුන්ගේ නම් කලු ලෑල්ලේ ලියා තබන ලෙසත් පවසමින්ය.. උගේ ජවනිකාව ඇරඹෙන්නේ එතැන් සිටය.. ඌ පන්තිය ඉදිරියට ගොස් හිටගන්නා අතර අපට උගෙන් වැඩක් නැත…. හැකිලී ගිය කුනුහරප පත්තර පිටු නැවත දිගහැරේ… විවේකීව සිටි කවකටු පෙට්ටි වාදකයෝ සිය වාදනය අරඹති… පෑන් ක්‍රීඩකයෝ සිය කවුශල්යය විදහා පාති… කොල කන දලඹුවන් පිරිස පොතේ පිටිපස්සේ පිටුව කඩා කටේ දමා විකමින් කයිවාරුව අරඹති…පංති නායකයා කලු ලෑල්ලේ කෑගහන අපේ නම් ලියයි… සර් ඈත එනවා දකින විට ලෑල්ල දෙස බලන අපේ බොක්ක රත්වී යන්නේ අපේ නම් ද කලු ලෑල්ලේ ලියා තියෙනු දකින විටය.
.” ඒ ඕයි ඕක මකනවකො අන්න සර් එනවා..”
කියමින් මරණයට කැපවූ ගවයන් මෙන් අප කොතෙක් ආයාචනා කලද මුනින් හැරවූ කලයකට කොතෙක් දිය වත් කලද නොපිරෙන්නාක්මෙන් පංති නායකයා මකන්නේ නැත…පංතියට එන සර් අපට ගුටි දෙන අතර අප විසින් පංති නායකයාගේ දයාබර මෑනියන් ගවුරව පූර්වකව සිහිපත් කිරීම සිදු වේ…
සර් අපට පිටුපා කලු ලෑල්ලේ ලියන අවස්තාවද අපට ආතල් ගැනීමට මහඟු තෝතැන්නකි… සර්ට ඇද කිරීම උසුලු විසුලු පෑම ඉන් කීපයකි… චූන් එක වැඩි වූ එකෙක් තව එකෙකුට කොල ගුලියකින් ගැසීම ආදිය අමතර ක්‍රියාකාරකම් වන අතර කොල ගුලිය ඌට නොවැදී ඉස්සරහට ගොස් සර්ගේ වැදුන අවස්තාද නැතුව නොවේ…. එබඳු අවාසනාවන්ත නිමේශයන් වලදී ලෑල්ලේ ලිවීම නවත්තන සර් පන්තිය දෙසට හැරී
” මොකාද මේක ගහපු එකා” කියා ඇසුවද වරද පිලිගෙන විහින් කෙලවාගන්නට තරම් උදාර සිංහ පැටවු තුන් හෙලේ කැලෑ තුල සිටියද අපේ පංතියේ නැති බැවින් පංතියේ සියල්ලන්ටම එලියට ගොස් හිටගෙන සිටීමට සිදු වේ… ඒක අපට පට්ට ආතල් එකකි….එහෙත් පංති නායකයාගේ තත්වය සෝකාකූලය… උගේ වැලපිල්ල අහං ඉන්නට අමාරුය… කැලේ පලවැල නෙලන්නට ගොස් සිටින අතරේදී සිය දරුවන් දෙදෙනා ජූජක බමුනාට දී ඇති බව දැනගන්නා මංත්‍රී දේව්ය වැලපෙන්නේ යම්සේද ….බ්‍රහ්ම දත්ත රජු විසින් සඳකිඳුරා මරාදැමීමෙන් පසු කිඳුරිය වැලපෙන්නේ යම් සේද… පංති නායකයාගේ වැලපිල්ල ඊට හත් කූරුවක් අන්තය… කොල ගුලිය ගහපු එකා ලඟට එන පංති නායකයා වරද පිලිගන්නට ඌට බල කරයි…වාර විබාගයෙන් පන්තියේ දෙවැනියා තුන් වැනියා වෙන පොත් කාවන් දෙදෙනාද පංති නායකයාගේ සහයට පැම්ණ
” ඒ අපරාදේ බං පීරියඩ් එක අපට ඉගෙනගන්න ඕනේ .. උඹ පිලිගනින්කෝ බං උඹ කලේ කියලා… ආදී වශයෙන් අපගේ කොල ගුලි අපරාද කරුට ඔවුන් බලකරයි…
එහෙත් සර් ගේ ගුටි පූජාවට ඇති බිය නිසා අපරාද කරු එයට අකමැති වන අතර පංති නායකයා සිය කලිසම උනා මල් චීත්තයක් ඉන වටා නෙරිය තියා ඇඳගෙන සර් හමු වී සර් අර අරයා තමයි ගැහුවේ කොල ගුලිය කියා කේලම කියා එහි ප්‍රතිපලයක් හැටියට අපේ අපරාද කරුට වේවැල් පහර කීපයක් ලබා දෙවා සිය අද්යාපන වරම ලබා ගනී.. මෙබඳු කේඩෑරි වැඩ කරමින් අපට දිගට හරහට කෙලවූ පංති නායකයකු මට ඊයේ පෙරේදා දවසක ෆුඩ් සිටි එකේදී හමු වී පැවසුවේ

” අඩෝ මචං… උඹලා අපි ඒ කාලේ කෙලපු පිස්සු., ගත්ත ෆන් අද පොඩි එවුන්ට නෑ බං”

කියාය… එදා ඉඳං මට හරියට කෑමක් නැත නින්දක් නැත.. හිතේ අහස පොලව ගැට ගහන්නට තරම් ප්‍රශ්නයකි……ඒ ප්‍රශ්නය නම්…

ඌ කෙලපු පිස්සු සහ ඌ ගත්ත ෆන් මොනවාද යන්නයි…

මෙය උපුටා ගන්නා ලද්දකි. සියලුම අයිතිය මුල් කතෲ දනුෂ්ක කාංචන සතුවේ.

Advertisements

අපි කෙලෙහි ගුණ මතක ඇති ජාතියක්ද?


කැ

බිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න ,

මිනිස්සු ගම අතෑරලා යනවා කියද්දි මහින්ද ඔවුන්ට උස් හඩින් කිව්වා ,

” නෑ නෑ කවුරුවත් යන්න ඕන නෑ , මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්, මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දු ගන්නවා, බය නැතුව ඉන්න, කවුරුවත් යන්න එපා ගෙවල් අතෑරලා ”

මේ වීඩියෝ අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන නරඹන්න ,,

එදාම රෑ මහින්ද , රටේ ජනාධිපති විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරා,

විනාඩි 45ක ඒ විශේෂ ප්‍රකාශයේ උච්ඡතම වචන ටික මට අදටත් මතකයෙන් කිව හැකියි ,

” ආදරණීය රට වැසියනී ….

මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ …

ප්‍රභාකරන්ට සා- ම- ය කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැතිනම් එයාට තේරෙන භාෂාවෙන් උනත් කතාකරන්න මා පසුබට නොවන බව හොදින් මතක තබා ගන්න ….. etc ”

කාටද මේවා මතක ?

විවාදයක් තියාගන්න එපා ,

මහින්ද 2005 සිට 2009 අග දක්වා ගේම ගැහුවා ලස්සනට , ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොවෙන්න ඔහු ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ඨ කරා ,,

ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම තමයි,

මිලිබෑන්ඩ්ලට , කුෂ්නාර් ලට කනේ ඇගිලි ගහගන්න මහින්ද එදා මුණටම කිව්වා ,,

මහින්දට එදා තිබුන බලපෑම් / පීඩනය සුළු පටු නෑ ,

නමුත් මහින්ද , අදටත් ඒ සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියන් නෑ ,

ඉන්දීය නියෝජිතයෝ ඇවිත් වහාම මෙහෙයුම් නවතන්න කියපු වෙලාවේ , කේන්ති ගිය මහින්ද ඉන්දියන් කට්ටියගෙන් අහලා තිබ්බේ ,

” ඇයි නැවැත්තුවේ නැත්‍තන් ගිය පාර වගේ උඩින් පරිප්පු දාන්නද ? ” කියලා

ඒ කොන්ද නායකයෙක් විදියට මහින්දට තිබ්බ නිසා ,

උබත් – මමත් – අපිත් අද බය නැතුව මහ මග ඇවිදිනවා ,

යුද්ධයට නායකත්වය දුන්

මහින්ද රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ

සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්

සේනාංක ප්‍රධානීන්

ශ්‍රී ලංකා පොලීසිය

සටන් කළ සෙබලුන්

මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍ය පුජා කළ මිය ගිය රණවිරුවන් ,

ආබාධිත වුවන් ,

මේ සියළු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු ,,

එය කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකමයි,

මනමාලියන් බැලීම


මනමාලියන් බැලීම වනාහි ත් එක්තරා අමුතුම මෙවුවා එකකි..
කොල්ලා ඉස්සර වගේ නැතුව නිකන් මෙවුවා වෙලා වගේ බව දෙමවුපියන්ට පෙනී යාම නිසා මේ කටයුත්තට මුල පිරීම සිදුවේ..
අල්ලපු ගෙදර ගෑනි ලිඳේ නාන විට කොල්ලාට ඒ පැත්තේ මිදුලේ හරියට වැඩය.. දබ වැස්සේත් ඌ ඒ පැත්තේ මල් ගස් වලට වතුර දායි… නැත්තං ඒ පැත්තේ අඹ ගහේ මුදුනේ පැහුන ගෙඩි සොයා ගස් බඩගායි..වෙනදා පත්තරේ අතට ගත්ත ගමන් පාතාලේ සැඟවුන කතා කියවන එකා දැං පත්තරේ අතට ගත්ත ගමන් මංගල කිංකිණි තීරුව කන්න වගේ බලයි.. උගේ මෙට්ටේ යට තිබී කලින් හමු වන්නේ පිලිවෙලකට දෙකට නමා ඇති ටියුලිප් බෑග් , නෝ ලිමිට් බෑග් වුවද දැන් මෙට්ටේ උස්සන මවට හෝ පියාට දැකගත හැකි වන්නේ අමු හෙලුවැලි රූප සහිත පත්තර කෑලිය… පෝන් එකේ වයර් කැලි දෙකත් කනේ ගහගෙන තිරේ කන්න වගේ බලාගෙන ඉන්න වෙලාවක මව හෝ පියා ආවොත් විජහට පෝන් එක තිරය නොපෙනෙන සේ මුනින් අතට ඇඳේ සතපවයි…

මෙබඳු රෝග ලක්ශන දකින දෙමවුපියෝ මුගේ අතින් ඉස්ත්‍රී දූසනයක් වෙන්න කලින් මූට යකින්නක් හෝ හැපින්නක් හෝ එල දෙනක් හෝ මේ සියල්ල එකට කැටි කොට සෑදූ ගෑනියක් කසාද බන්දා දීමට කාලය හොඳ බව තේරුම් ගනී.. කෙසේ හෝ කොල්ලා කොටු කරගන්නා මව සහ පියා නානා විධ ප්‍රශ්නාවලි ඔස්සේ පරීක්ෂාවට ලක්කර අවසානයේ…
” හා හා අම්මටයි තාත්තටයි ඕනේ දෙයක් ” යන දිව්යමය පිලිතුර ලබාගනී.. ඉන් අනතුරුව එදා වේල හොයාගන්නට බැරිව ගෙදරට වෙලා උදලු මිටවල් රැහැ රැහැ ඉන්න බංකොලොත් කපුවෙකුද වැඩේට අල්ලාගනී.. ඌ ඉතින් දහපදුරාවේ ඇවිද ගෙවල් වලට කූට්ටාලි වී සිටන ගෑණු කූරියන් දහ පහලොස් දෙනෙකුගේ පින්තූර හොයාගෙන දිනපතා කොල්ලාගේ ගෙදර බඩගා කොහොම හරි ඒ අතරින් එකක් බලන්නට යාමට සැට් කර ගනී….

හොඳම ජෝගිය තියෙන්නේ මනමාලි බලන්ඩ යන දවසේ උදේටය..
උදේ හතරේ ඉඳං මවගේ ගෝරනාඩුවය..
” කොල්ලෝ අද ඉරිදා උනාට කමක් නෑ මතක් කරල දත් මැදගනිං…. ඔය මගුල් කොන්ඩේ තෙල් ටිකක් ගාලා රොදක් තියාගනින් උලමා වගේ නැතුව… තාත්තා කොල්ලාගේ සපත්තු දෙකකට අමාරුවෙන් කකුල ඔබාගෙන අන්ඩවාත රෝගියකු ලෙසින් අමාරුවෙන් ඇවිදී.. අම්මා තඩි රතු මනිපුරි සාරියකින් සැරසී පොල් ගෙඩි වලට වඩා පොඩ්ඩක් පොඩි ඇට මාලයක් ගෙල බැඳගන්නේ මේක අපේ හඟුරංකෙත නැන්දා ගෙනත් දුන්න මාලේ කියා උදම් අනමිනි…
යම් හෙයකින් තාත්තා විසින්

.” ඔයිට වඩා හොඳ මාලයක් අපේ අම්මා ඔයාට දුන්නේ ”

කියා කීවොත් මනමාලියන් බැලීම පැත්තක තියා ගල්ෆ් යුද්දය ඇරඹීමට අම්මා පසුබට නොවේ..

“ඇඤේ ඇච්චජ……. තමුසෙගේ අම්මා දුන්න එක කොහෙද ඕයි මේ තරං වටින්නේ මේව අපේ පවුල් වලිං එන උරුම.. අපේ වලවු වල මේවා පරම්පරාවෙන් ආවේ.. මගේ කරුමෙට තමුසේ එක්ක ආවා මිසක් මෙහෙම ඉන්න ඕනෙ ගෑණියෙක් නෙවෙයි මම…”

“ඔවු ඔවු තමුසේ මහ කුමාරිහාමිනේ මං නොදන්නවයැ ඒ බව.”

මෙසේ රිදී තිරය මත දිගහැරෙන අම්මාගේ සහ තාත්තාගේ වලිය තුල තාත්තා අම්මා බලන්නට ආ මුල්ම දවසේ ගෙනා සාරිය බාල එකක් බව… තාත්තාගේ නංගී කෙනෙකු අම්මාගේ මාලයක් ඉල්ලගෙන ගොස් ආපහු ගෙනත් දෙනකොට ඒකේ ගාංචුව කැඩී තිබූ බව.. තාත්තාගේ නංගි කෙනෙකු පැනලා ගිය කතාව ආදී මෙකී නොකී පුරාවුර්ත ඇතුලත් වේ.. අම්මා කියන විදිහට චාල්ස් කුමාරයාට අම්මා නොබැඳ ඩයනා කුමරිය බඳින්නට සිදුව ඇත්තේ චාල්ස් කුමාරයා බඳින්න අම්මාට යෝජනාව එන විටත් අම්මා තාත්තාට බහ දී තිබුන නිසාය… කෙසේ හෝ මෙම කලිකලහය නිම වන්නේ මෙතෙක් ඉස්තෝප්පුවට වී සිටි මාමාගේ නැන්දා පැමින
” යං යං ඒ පාර රණ්ඩු වෙන්න පටං ගත්තද”
කියා බැනීමෙන් අනතුරුවය… ගමනට ඔක්කොම පිරිස හයකි.. අම්මා තාත්තා කොල්ලා කපුවා සහ කොල්ලාගේ සහයට නිබඳව වචනයෙන් දායක වන.. වැඳපුවාම මගේ අයුසත් අරං ජීවත් වෙයං කියා ආයුස දෙන්නට හදන ඒත් මගේ බැංකු පොතේ සල්ලි ඇති ඒකෙන් පන්දාහක් අරං ජීවත් වෙයං කියාලා වැරදිලා වත් නොකියන ගුරු වුර්තිය හෝ විදුහල්පති වුර්තියෙහි නියැලුන අම්මා ගේ සොයුරු අති පණිඩිත මාමා සහ පොරගේ නැන්දා නැමති ගිණි බෝම්බයත් ය..
මනමාලිය බලන්නට යන සීන් එකේදී තැනට ගැලපෙන්නට කතා කරන්නට මාමා තරං වෙන උගතෙක් නැතැයි යන්න අම්මාගේ නිගමනයයි.. අම්මාට අනුව නම් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ශනය සොයාගෙන ඇත්තේ ද මාරි කිවුරි රේඩියම් සොයාගෙන ඇත්තේද නීල් ආම්ස්ට්‍රෝන්ග් තනියම හඳට ගොස් ඇත්තේද මාමාට පැපොල හැදී සිටි දවස් වලය….මාමාට පැපොල හැදුනේ නැත්නම් ගුරුත්වාකර්ශනය හොයාගන්නේ මාමාය… රේඩියම් හොයාගන්නේ මාමාය… නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ හාවා සමග කතා කරන්නට එක්ක යන්නේ මාමාවය….ටයිටනික් නැව හදන්නට උපදෙස් දී ඇත්තේද අපේ මාමා බව අම්මාගේ මතයයි.. බඩ මැද්දෙං කලිසම ඇඳගෙන අත් දිග කමිසය යට කර සිටින මාමා වරින් වර අත ඔහෙක් කර වෙලාව බලයි…පොර බැඳගෙන ඉන්නා පරන තාලේ ටයි පටියෙන් හදිසියකට කරදරයක් නැතුව අමුඩයක්ද ගසා ගත හැක….ටවුමේ පාක් එකේ ගුණයාගේ ලදරං හයිඒස් එකත් මිදුලට සම්ප්‍රාප්ත වන්නේ මේ ඇසිල්ලේමය.. පාරේ සිටම ඉස්සරහා සීට් එකේ ඉඳගෙන දොර කිහිල්ලේ ගහගෙන පැමිනි කපුවාට තරම් හදිසියක් වෙන එකෙකුට වත් නැත.. සුරංගනා කතා වල වගේ හරියට වෙලාව පැන්නාම මනමාලිය ගෙම්බෙක් වේවි යැයි බයක් කපුවාට ඇතැයි හිතෙන්නේ උගේ හදිසිය දුටු විටය..
” යං යං අතනක මෙතනකයැ”
තාත්තා පුරුදු නැති සපත්තු දෙකත් දමාගෙන අමාරුවෙන් එහෙත් අමාරුව නොපෙන්නා ඇවිත් වෑන් එකේ අසල හිටගෙන සිටියි.. ටිකකින් ගෙදර දොරවල් වල ජනෙල් වල අගුල් සිය පාරක් පමණ අතගා හරියට වැසී ඇත්දැයි බලා සහතික කරගෙන මුතු ඇල්ලූ හෑන්ඩ් බෑග් එකත් කිහිලි ගන්නාගෙන අම්මා දුවගෙන එයි.. අම්මාගේ මූන කාඩ් කුට්ටමේ ජෝකර් කොලයේ ජෝකර්ගේ නැතහොත් ලිබ්බොක්කේ වැටුන එකෙකුගේ මූණ සිහිපත් කරවයි.. ඒ තරං පවුඩර්ය.. අන්තිම මොහොතේ වාහනයට නගින්ඩ දුවගෙන එන කොල්ලා දකින මාමා සිය සුපුරුදු උපදේශනාත්මක වැඩසටහන අරඹයි..

“හා හා පුතා කෝ අම්මටයි තාත්තටයි වඳින්න…මෙහෙම ගමන් යනකොට එහෙමනේ.. මේ අලුත් පරම්පරාව කිසි දෙයක් දන්නේ නෑනේ අප්පා.. හැම වෙලාවෙම තරුණ පරපුර පෝන් වල .. අනේ මන්දා මෙහෙම ගියොත්..”

තාත්තා විසින් නැති තැන ” සුරුට්ටුවා ” යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ අපූරු මාමාගේ අනට කීකරු වීමට කොල්ලාට හිතක් නැති උනත් මාමාට අකීකරු වීම අම්මාගේ මාතෲ උදහසට ලක් වීමට හැකි බව කොල්ලා දනී.. නන්දා මාලනියට මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා උනත් කොල්ලාගේ අම්මාට අනුව නම් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත මාමා ය.. මාමාගේ අණට කීකරු වී යන්තං දෙකට නැමී අම්මට තාත්තට වඳින කොල්ලා දකින මාමා නැවත සිය දේශනාව ඔස්සේ නූතන තරුණ පරපුර මුහුණ පා ඇති කේදවාචකය විස්තර කරයි.. අද කාලේ හැදෙන කොල්ලන්ට දනගහලා වැඳගන්නත් බෑ.. ඉස්සර අපේ අම්මා තාත්තා ලඟ අපි බිම පෙරලිලා වඳින්නේ..

අපරාදේ අර දොරමඩලාවට සූරියප්පෙරුම ගෙන්නන්නේ මේ යකාව ගෙන්නන්න තිබුනේ .. කියා සිතමින් කොල්ලා වාහනේට ගොඩ වූ පසු ඩයිවරයා පිටින් පැමින වාහනය අවුරුදු 30ක් පමන අලුත් නිසා කන් හිරිවට්ටමින් කරාස් දබෝං හඬින් දොර වසා දමා කොල්ලලා ගමනක් යන බව අසල්වාසීන්ගෙන් සඟවන්නට මෙන් මුලු වාහනයම කලු දුමාරයෙන් වැසී යන සේ ඔට්ටු වී ඉස්ටාට් කරගෙන වත්තෙන් එලියට ගන්නවාත් සමගම කොල්ලාට අම්මාගෙන් පලවෙනි අවවාදය ලැබේ….

” තෝ එහෙ ගිහිං එහෙම ඕක සාක්කුවෙං එලියට අරං ඔබන්ඩ ගත්තොත් එහෙම මං නරක ගෑණි කියන්න එපා…”

වාහනය පාරට වැටුන තැන ඉඳං අම්මාට අමුතුම රොගයක් හැදේ .. එම රෝගය නම් වයිද්ය වරුන් විසින් බනානා සින්ඩ්‍රෝම් ලෙසත් අපේ පැරැන්නන් විසින් රඹකැන් සන්නිය ලෙසත් සාමන්ය ගැමි වහරේ කෝලිකුට්ටු පිස්සුව ලෙසත් හඳුන්වන තත්වයයි…

“ගුණේ ලමයෝ ඔය පලතුරු කඩයක් ලඟ පොඩ්ඩක් නවත්තන්නකෝ අර ගෙදෙට්ට ගෙනියන්න හොඳ කෝලිකුට්ටු ඇවරියක් ගන්ඩ..”

අම්මා විසින් කියන ලද එම වාක්යයේ හොඳ කෝලිකුට්ටු යන වචන දෙක විග්‍රහ කිරීම මලල සේකර ශබ්දකෝශයට හෝ මදුර එකට කල නොහැක… සාමාන්ය පරිදි නම් අම්මා කියන හොඳ කෝලිකුට්ටු වල පහත සඳහන් ලක්ශන තිබිය යුතුය..

1ගෙඩියක දිග අඩි දෙකක් වත් විය යුතුය
2 මහත මෙගා බෝතලයක් තරම් විය යුතුය.
3 ලෙල්ල ගැලවු විට ඇතුලේ තිබිය යුත්තේ කෙහෙල් නොව තනිකර පිටි ගොඩකි.
මෙම නිර්ණායක වලට අනුකූල කෙහෙල් ඇවරි ඇත්තේ පූජියාමා කන්ද පාමුල ගිණිකඳු විදාරනයෙන් ගලාගෙන ආ ලාවා මුසු පසෙහි පමණකි.. කෙසේ හෝ එම නිර්නායක වලට කිට්ටුවෙන් යන කෝලිකුට්ටු ඇවරියක් සොයාගෙන වාහනයට ගොඩවන අම්මා සහ මාමා අතර ඇති වන්නේ තමන් කුඩා කාලයේ කෑ සුපිරි කෝලිකුට්ටු සහ ඒවාට සම්බන්ද පම්පෝරි ඇතුලත් විද්වත් කතිකාවන්ය.. කෙසේ හෝ දුරු කතර ගෙවාගෙන කරුණාරත්න දිවුල්ගනේ නොකියම ආවට කොල්ලා ප්‍රමුඛ පිරිස දුරු කතර ගෙවාගෙන අදාල ඉස්තානයට යන්නේ කල් තියා කියලා නිසා අවුලක් නැත.. වාහනය නිවසට ලඟා වෙනවාත් සමගම නිවැසියන් එලියට එන්නේ වාහනයේ ඇංජිමේ සද්දයට නොව වාහනය අලුත් නිසා නිති නැගෙන කිරි කිරි සද්දයටය… කොල්ලලා වාහනයෙන් බහින විටම කොහෙදෝ ඉඳං ආව බල්ලෙක් බැහූඋ…. බැහූඋ… ගා බුරාවදින්නට පටන් ගත් නිසා නිවැසි පොරක්, කෙල්ලව මේ සැරේ වත් කොහොම හරි දීගන්ඩ හදන එක මේ බල්ලා බුරලා නැති කර දමතියි බියෙන් බල්ලා දෙසට දුවමින්

බැලී ගියා හුක්…

යයි නාද කර බල්ලා එලවා දමයි…. ඉන් අන්තුරුව කොල්ලාගේ මාමාගේ අච්චුවේම කෙල්ලගේ පැත්තේ අති පන්ඩිත පොරක් සියල්ල මෙහෙයවීම අරඹයි.. පොර සුපුරුදු ගොන් ප්‍රශ්නය නගයි.

“ගේ හොයාගන්ඩ අමාරු උනේ නෑනේ…”

මෙයට පිලිතුරු ලෙස අපොයි නෑ හරවන තැනින් ඇහුවම පාර කීවා කියා කොල්ලාගේ මාමා කියත්ම කපුවා…
” ඒ හරියෙත් ඉන්නේ මෙයාලගෙම අය තමයි එතන ඉඳං මෙතෙන්ටම එනකන් ඉඩකඩං මේ ගොල්ලංගේ”
කියා සීන් එකට එන්ටර් වේ..

කොහොම කොහොම හරි ගෙට අඬගසා සෝපාවේ පතබෑවෙන දෙපිරිස අතර ඇති වන අල්ලාප සල්ලාප අති මනරම්ය.. කොල්ලා ඉඳගත් ගමන් කලිසම් සාක්කුවට අත දමනු ඌ ලඟම ඉඳගත් අම්මා විසින් දැකීමේ ප්‍රතිපලයක් ලෙස කොල්ලාගේ ඉල ඇට කූඩුව හරහා අම්මාගේ මුදු මොලොක් වැලමිට පැයට කිලෝ මීටර දෙසීයක පමණ වේගයෙන් ඇනීම නිසා කොල්ලාට පෝන් එක අමතක කර දැමීමට සිදු වේ..

“මේ පුතා අද නිවාඩු දාලද ආවේ” කෙල්ලගේ මාමා තෝල්කයාගේ බූමිකාවේ සිට නගන පැනයට අම්මා විසින් පිලිතුරුදෙයි…

“නිවාඩු කියන්නේ මේකනේ වැඩේ.. මෙයාට ඔපිස් එකේ බොස් නිවාඩු දෙන්නේ නෑ… මෙයා නිවාඩු ගියොත් බොස්ටත් වැඩ කරගන්න බෑ කියනවනේ.. මුලු ඔපිස් එකේම වැඩ මෙයා යටතේ තමයි තියෙන්නේ” අම්මාට අනුව නම් ඔපිස් එකේ බොසා වැඩ කරන විදිහ අහගන්නේ කොල්ලාගෙනි.. කොල්ලා නිවාඩු ගිය දවසට බොස් ඔපිස් එක වසා දමා පිස්සුවෙන් මෙන් ඉස හැරුන අතේ දිව යයි…
කොල්ලාගේ මාමා නැගිට අත් දෙකත් පස්සට බැඳගෙන ඉස්තෝප්පුවේ හතර මුල්ලවල් වල විස්තර හොයයි.. මාමා ජනෙල් රෙදි අතගානවා දකින මනාලියගේ මාමා

” මේ දුව තමයි ඔය සේරම මැහුවේ.. හරි දක්සයි මැහුම් වලට .. ගමේ ගෑනු පුදුම වෙනවා මෙයාගේ මැහුම් දැකලා”

කියා පොඩි නයා පාරක් අරියි.. කෙසේ හෝ මුචලින්දගේ එක් කුස උපන් නයෙකු වන කොල්ලාගේ මාමා සහ නන්දෝපනන්ද නාරජු ගේ පුංචම්මාගේ පුතෙකු වන මනාලියගේ මාමා යන දෙපලට පින් සිද්ද වෙන්න පැය බාගයක් විතර ගෙවී ගිය පසු කොල්ලාගේ මිහිදුම් සිහින මදු සිහින සහරාවේ සිහින සැබෑකරමින් කෙල්ල ඉදිබුවකු කටුවෙන් මෑත් වෙන්නාක්මෙන් දොර රෙද්ද අස්සෙන් ඔලුව දමයි… ටිකෙන් ටික එලියට එන මනමාලිය ඇඹරෙන්නේ අත පය ගැට ගසා ඇති එකෙකුගේ පස්ස පැත්තට කිරිපණුවෙක් දැමූ කලක මෙන්ය… එය ලැජ්ජාව ඉකමවා ගිය විලි ලැජ්ජාවකි.. මනාලිය ඇඹරෙන්නේ හරියට මේ ඇවිත් ඉන්න එවුං ඉනෙං පහලට මොකවත් ඇඳලා නෑ වගේය..
” මෙයා හරි ලැජ්ජා කාරි”
මනමාලියගේ මාමා අඩුව පුරවන ගමන්ම.. ඒකි කොල්ලෝ එක්ක නටපු නාඩගං මුං දන්නවනං විනාසයි කියා හිත යටින් හිතයි….

” මේ පුතා අරක්කු සිගරැට් එහෙම බොනවද?”

මනාලියගේ මාමා විසින් නගන පැනයෙහි ගැබ්වූ අරක්කු යන වචනය ඇසෙත්ම සිරුර පුරා රෝමෝද්ගමනය වී පණ උපදන ලද ඉඳුරන් ඇති මනමාල තෙමේ

” බොමු බොමු අංකල් මොනවද වර්ගේ”

කියන්නට කලිං මාමා ඉස්සර වී…

” පිස්සුද මේ ලඟදිත් මේ පුතා මගෙන් ඇහුවා මාමේ ඔය මිනිස්සු බොන අරක්කු මොන රහද කියලා…”
කියත්ම කපුවාද මැදින් පනියි..
” මේ මහත්තයට බාර් එකක් ලඟින් ගියත් අප්පිරියාව හිංදා වැඩ ඇරිලා එන්නෙත් රවුම් පාරෙන්”

මේ පච කියවා අවසන් වන විට උගුර කට වියලී සෙප්පං නැතුව සිටින මාමලා දෙදෙනා සහ කපුවා කෑම මේසයේදී සිය කුසලතාවයන් මනාව ඔප්නංවාගනී.. වෙනදා මනාලියගේ අම්මා අතින් දෙතිස් වදයෙන් එකක් වන ඇඟ මස් රැහීම සිහි ගන්වමින් ඇහේ දාන්නට තරං පොඩියට කපන මූදු මාලු කෑලි අද ටොම්බ සයිස් එකට කපා ඇත්තේ පනුවන් ඇමට යොදාගෙන අල්ලාගන්නා මාලුන් ඇමට යොදාගෙන, කපුවා කියා ඇති අන්දමට මේ බලවත් කුලවත් දනවත් පවුල බිලී බා ගැනීම ඇගේ ඒකායන පැතුම නිසාය… කන අතරේ කෑම හරි රසයි කියා පට්ට පල් කෙබර ඇද බෑමද .. කෑම සියල්ල සැකසුනේ මනාලියගේ අතින්ය යන සුලබ කෙබරයෙන් පිලිතුරු දීමද කෑම මේසයේ චාරිත්‍ර වලට අයත් වේ..

ඉන් පසු තැන් තැන් වලට වී එක එකාගේ කේවල හපන් කම් කියන අතර කපුවා ඩ්‍රයිවරයා සමග විට කයි… මනාලයාගේ මාමාගේ පවුල හෙවත් නැන්දා ඔටා දමඤ්ඤං නටන්නට සූදානං වන වැද්දෙකු මෙන් හෙන තඩි කොල අතු මිටියක් නිවසේ ඇති මල් ගස් වලින් කඩාගනී.. අතු පැල වෙන්නේ නැති ගස් වලට පස් බැඳ මුල් අද්දවා දීමට මනාලියගේ අම්මා පොරොන්දු වන්නේ ..” දැං ඉතිං පිට මිනිස්සුයැ කොයි වේලේ එන්ඩ බැරි ද කියා අමතර සීන් එකක්ද දෙමිනි.

ඉතා කෙටි කාලයක් තුල මෙසේ දෙපාර්ශවයන් රවටාගැනීම මනමාලියන් බලන්නට යෑම හෙවත් අහස් මාලිගා ලෙසත් රැවටීමේ ලඟ ප්‍රතිඵලය විවාහය හෙවත් මදුසමය ලෙසත් කියපු බොරු එලිවීම සිරියහන ගිනි ගනී ලෙසත් දෙපැත්තේ එවුං ගහමරා ගැනීම ඇගේ වයිරය ලෙසත් දෙපැත්තේ එවුං එකතු වී කපුවාට ගුටි බැට දී උගේ සරම ගලවා ඔලුවේ බැඳීම සලුපට අහසට ලෙසත් චිත්‍රපට වලට නගා ඇත….

උපුටා ගැන්ම
ධනුෂ්ක කාංචන ජයවීරගෙන්