මද්ද


දැක්කේ කැකිරී ගෙඩියයි යන එන පාරේ
ටක්කෙට මතක නෑ රසකර කෑ කාලේ
සැකයක් ඇති උනත් කට කෙල ඇත බේරේ
මද්දට හසුවුනයි මගෙ හොඩවැල දැන් හිරවේ

වනජීවී මහත්තුරු එනකන් දින හතරක්
මද්දට හිරවු හොඩවැල කම්බිම පොට හතරක්
කන්නට තිය බොන්නට බැරි හැටි විතරක්
මටනම් හිතුනේ මගෙ මැටි කම ගැන විතරක්

පොටවල් හතර කපලා හොඩ වැල ලිහුවා
කුණුවූ තුවාලේ මොන මොනවද ගෑවා
බේත් සැරට බඩ බොකු ඔක්කාරෙට ආවා
නෑ නෑ ඒ නිර්වින්දන සැරටයි කීවා

මිනිහා උනත් එක එක ජාතියේ ඇත්තේ
දුප්පත්කම නිසයි මද්දක් අටවනු ඇත්තේ
කට්ටක් උනත් වනවජීවිය මේ පැත්තේ
බෝසත් මිනිස්සුයි අප රක්කේ මේ පැත්තේ

හොඩයේ ලොකු හිලකි බොන්නට බෑ වතුර
ගස් අතු කඩන්නට හොඩයෙන් බෑ නිතර
අහුවෙන තණකොළයි දැන් කන්නෙම නිතර
මරණය අත ලගයි බව දැනෙනවා මිතුර

රෝහණ කේ අමරකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න